Tuesday 28 May 2013

තාගෝර් සැඳෑව තුලින් තාගෝර් දැකීම..............




           තාගෝර්තුමා, තමා උපන් භූමියේ  භූගෝලීය සීමාවන් අබිබවා ගිය විශ්වකලාකරුවකු වූයේ විශ්ව ගම්මානය ඉදිවීම ආරම්භ වීමට බොහෝ කලකට පෙරය. ඔහුගේ මාහැඟි කෘතිය වන ගීතාංජලිය පදනම් කොට ගෙන නොබෙල් ත්‍යාගය එතුමන්ට පිරිනැමුණේ 1923 තරම් ඈත කාලයකදීය. ගීතාංජලිය පළමුවරට මුද්‍රණය කර ඇත්තේ පිටපත් 750ක් බවත් ඉන් පිටපත් 250ක් පමණ අලෙවිය සඳහා නිකුත් කළ බවත් කියැවේ. එහෙත්  ලංකාවේ පියදාස සිරිසේන ගේ සිය ජයතිස්ස හා රොසලින් පිටපත් 25,000ක් එ් වකවානුවේදීම අලෙවි වූ බව කියැවේ. එහෙත් පියදාස සිරිසේන  විශ්ව දැක්මක් තිබුණු කලාකාරයෙකු ලෙස අප සලකන්නේ නැත.
   
       කලාකරුවකු සතුවිය යුතු මාහැඟි ජීවිතය මේ යැයි කියැවෙන පරමාදර්ශී චරිතයක් වූ තාගෝර් සිය ජීවිතය හා කලාව අතර ගැටුමක් ඇති නොකර ගත්තේය. එය බටහිර කලාකරුවකුගේ ජීවන දර්ශනයට සපුරා වෙනස් යැයි මට සිතේ. ප‍්‍රාංශු දේහධාරි උත්තුංග ශරීරය, එ් රූප කාය වසාගත් දිගු ලෝගුව, මුහුණ පුරා ප‍්‍රතාපවත් බව තවත් අවුළුවන දිගු ධවල වර්ණ රැුවුල හා ගාම්භීර කටහඬ ඈත ඉන්දියානු බහුත්වවාදී මහා සංස්කෘතියෙන් ගලා ආ ධාරාවන් එක ශරීරයකින් සංකේත වූවා සේය. භාරතය බිහිකළ ශ්‍රේෂ්ටයන් දහ දෙනාගේ ලැයිස්තුවට තාගෝර්තුමාද ඇතුළත් වේ.
            මහා සංස්කෘතියක් තුළ මහා සම්ප‍්‍රදායක් බිහිකිරීම ශ්‍රේෂ්ටයෙකුට පමණක් කළ හැකි කාර්යයකි. මක්නිසාද යත් එ් මහා සංස්කෘතිය විසින්ම සම්ප‍්‍රදායන් බිහිකර ඇති නිසාය එ්. මහා භාරතයට සංගීතය සම්බන්ධයෙන් දුරාතීතයට ඇදී යන සම්ප‍්‍රදායක් තිබේ. අජන්තා එල්ලෝරා ගන්ධාර ආදි විශිෂ්ට චිත‍්‍ර මුර්ති කලා සම්ප‍්‍රදායක් තිබේ. මහාභාරතය, භගවත් ගීතාව ඇතුළු ග‍්‍රන්ථ ඉතිහාසයෙන් ගලා එන සාහිත්‍ය සම්ප‍්‍රදායකුත් තිබේ. නර්තනයේ උපත භාරත දේශයෙන් පැන නැග්ගාදැයි හිතෙන තරම් සුවිසල් නර්තන උරුමයන් ඝණනාවක්ම භාරතයට තිබේ. එසේ තිබියදීත්, එ් සියල්ලට උරුම කියන නමුත් නවීනත්වයට මුසුවුණු රබින්ද්‍ර කලා සම්ප‍්‍රදාය බිහිවන්නේ මහා එක් පුද්ගලයකුගේ දැවැන්ත සම්භාව්‍ය ජීවිතය හරහා වීම කෙතරම් අපූර්ව වේද?
               මීට වසර 20කට පමණ පෙර මා මහාචාර්ය සුමනසිරි ලියනගේ සමග නුවර සිට කොළඹ එන ගමනකදී ලාංකික කලාකරුවන් කිහිපදෙනෙකු ගැන කතා බහක යෙදුණි. කලා රසිකයකු මිස කලාකරුවකු නොවන මහාචාර්ය ලියනගේ කලාකරුවකු අර්ථ දැක්වූ අපූර්වත්වය දශක ගණනක් ඇවෑමෙනුත් මසිත තවමත් දෝංකාර දෙයි. ”කලාකරුවකු යනු මුනිවරයකු වගේ නේද?’’ එ් මහාචාර්ය ලියනගේ ගේ කලාකරුවකු ගැන නිර්වචනයයි. මාක්ස්වාදය පිළිබඳ ප‍්‍රමාණිකයකුසේම භෞතිකවාදියකු වන, එමෙන්ම මාක්ස්වාදියෙකු ලෙස පෙනී සිටීමට තවමත් ඇල්මක් දක්වන ( සිය ත්‍්ජැ ඊදදන පිටුවේ තමන් පිළිබඳ හැඳින්වීමේ එසේ සඳහන්ය.* බුද්ධිමත් රසිකයකුගේ කැමැත්තයි. මුනිවරයා යනු පුහුදුන් මිනිසාගේ ගැටුමට ලැදි බවින් මිදුනු, කරුණා මෛති‍්‍රය එ් වෙනුවට අභ්‍යාස කරන, යහ ගුණයෙන් පිරිපුන් සමාජය මත්තේ බර අඩි තබමින් නිස්සරණධ්‍යාෂයෙන් යුතු ගමනක් යන මනුෂ්‍යයෙකි.
                 තාගෝර්තුමා එකී නිර්වචනයට සපුරා අයත් ශ්‍රේෂ්ටයෙකි. එතුමන්ගේ තරුණ වියේදී කඩා වැටුණු විවාහ ජීවිතයෙන් පසු සිය ඉතිරි විශාල ජීවිත කාලය ඉන්දීය බවට සමාන්තර වූ ලෝක දැක්මකින් යුතුව විශ්වය තරණය කළේය. තාගෝර්තුමන් හා අයින්ස්ටයින් අතර වූ සංවාද, අයින්ස්ටයින් එතෙක් දරා සිටි සමහර මතයන්, තාගෝර්තුමා හා කෙරුණු දීර්ඝ සංවාදයන් හා වෙනස් වූ අයුරු සලකා බලන විට එතුමන් සතු වූ ශ්‍රේෂ්ටත්වය විදහා දැක්වේ. 1915 වසරේ දී තාගේා්ර්තුමන් වෙත ලැබුණු නයිට් නාමය ප‍්‍රතික්ෂේප කළේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය ඉන්දියාව තුළ කරන නොපනත්කම්වලට විරෝධයක් පෑමටය.
                   කලාකරුවාට දාර්ශනික තලයක් නොමැති වුවහොත් ඔහු හුදු ශිල්පියකු බවටද, තමා අයත් දැනුමේ වහලෙකු බවටද පත්වේ. ඉන්දියාවේ විවිධ සංගීත විශ්ව විද්‍යාල මගින් නිපුන් ආදී උපාධි ලබා පැමිණ එ් උපාධිය උඩ දමමින් සංගීතයේ එතෙක් පැවති විලංගු කඩා නොදමන කලාකරුවන් අයත් වන්නේ මේ දැනුමේ වහලූන් වූ මිනිසුන් කණ්ඩායමටය.
                   තාගෝර්තුමන් පුලූල් දාර්ශනිකයෙකු වන අතරම එ් දාර්ශනික බව සිය කලා කෝෂ්ඨාගාරය  තුළට ඇතුළත් කරගත් කලාකරුවෙකුි. මනරම් කලා තාක්ෂණයත් , දාර්ශනිකව ඉහළම තලයකුත් ස්පර්ෂ කරන ඔහුගේ කෘතීනුත් අතර ඇති මනා සමායෝජනය ඔහුගේ විශිෂ්ටත්වයය. සමස්ත භාරතයේ සෑම වැලිකැටයක්ම ඔහු දැන සිටියේය. භාරත පොළොවේ හැම අස්සක් මුල්ලක් නෑරම ජනිත වූ සෑම තරාතිරමකටම අයත් ජනයා තාගෝර් තුමන් විසින්  තමන්ගේ ජීවිතවලට යමක් එකතු කළ මිනිසෙකු ලෙස විශ්වාස කළෝය. තාගෝර්තුමාගේ අභාවයෙන් පසු එ් ශී‍්‍ර දේහය වීථි සරද්දී ඔහුගේ දිගු රැුවුල් ගස් එකින් එක ශෝකී ජනයා විසින් ගලවා ගත් බවත් අවසානයේ චිතකය වෙත ගිය තාගෝර්තුමන්ගේ මුහුණේ එකදු රැුවුල් ගසක්වත් නොතිබූ බවත් කියැවේ. ඒ ගලවා ගත් රැුවුල් ගස් කරඬුවක බහා නිවෙස්හි දෙවියන් පුදන කුටියේ සුරක්ෂිතව තැබූ බවත් සඳහන් වේ.
                     මුනිවර ආත්මයකින් කලාවේ නියළුණු කලාකරුවකු ඔහුගේ මරණයෙන් පසුව මොහොතකින් සිය පිරිවැසි ජනයා විසින් දේවත්වයට ඔසවා තැබුවේ එලෙසිනි.
                   මා මගේ මිතුරකු වූ චමිල රාජපක්ෂ හා කැටුව ටොරොන්ටෝ නුවර දී 2013 මැයි 04 වන දින තාගෝර්තුමන්ගේ 152 වන ජන්ම අනුස්මරණය පැවැත්වීය. එය ටොරොන්ටෝවේ කලා කි‍්‍රයාකාරකම්වලට නව මානයක් ලබාදුන් ප‍්‍රසංගයක් වූ බව එයට සහභාගි වූ  විද්වත් රසික පර්ෂදයම කියා සිටී.
                අප විසින් සංවිධානය කරන ලද තාගෝර් ප‍්‍රසංගය පිළිබඳව අපගෙන්ම අසන ප‍්‍රශ්නයක් තිබේ.   ආර්ථිකවද, බහු ප්‍රේක්ෂක සහභාගිත්වයක් ලබා ගත හැකිවන ශාස්තී‍්‍රය යයි ජාම බේරා ගත හැකි තවත් ප‍්‍රසංග තිබිය දී, තාගෝර් අනුස්මරණයක් සඳහා අපව යොමුකළ අභ්‍යන්තර පෙළඹවීම කුමක්ද යන්නයි. සැබැවින්ම මේ ලියවිල්ල වනාහි එ් පෙළඹවීම කුමක්ද යන්න වටහා ගන්නට තවමත් අප දරන වෑයමේම කොටසකි.
තාගෝර් සැඳෑවක් සංවිධානය කිරීමට හේතු කාරක වූ කේෂික මුල් ප‍්‍රමාණයක් තිබුණත් (එ්වා ප‍්‍රසංගය උදෙසා පළවූ සමහරුවේ මා ලියූ සටහනේ එ් විස්තර වෙනම ඇත.* එය වැඩිවර්ධනය වූයේ නිරායාස ස්වරූපයකිනි. දශක තුනක් පමණ තිස්සේ ලංකාවේදීත්, ටොරොන්ටෝවේදීත් සාර්ථකව කලාව ආශි‍්‍රත යම් කි‍්‍රයාකාරකම් පේ‍්‍රක්ෂක රස ජනනය සඳහා සාර්ථකව සංවිධානය කළ මට තාගෝර් සැඳෑව අමුත්තකි.
තාගෝර් තුමා පිළිබඳ සිතුවිල්ල මසිත රැුව්දුන්නේ සිංහල සංගීතයේ අමරදේවගෙන් පසු යුගය ගැන සිහිවීමත් සමගය. අමරදේවයන්ට සමස්ත ශී‍්‍ර ලාංකික කලාව අරබයා සුවිශාල මුද්‍රාවක් විය නොහැකිවුවත් ඔහුට සිංහල සංගීතය අරබයා මුද්‍රාව වීමට හැකිවිය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන ආකාරයට වසර 2500ක ඉතිහාසයේ විශිෂ්ටතම සිංහල සංගීතඥයා අමරදේවය. එහෙත්  අමරදේවයන්ට දෙමළ හෝ මුස්ලිම් ප‍්‍රජාවද ඇතුළත් මහා පොදු සාධකය තුළ ශී‍්‍ර ලාංකික මහා සංගීතඥයා වීමට නොහැකි විය. එය එසේ නොවීමට බලපෑ ඌනතාවයන් ඇත්තේ අමරදේවයන් තුල නොවේ. රට ඒකාග‍්‍රතාවයක් ලබා ගැනීමේ දිසාවට යොමු නොකළ දේශපාලකයින් සහ සමාජ කි‍්‍රයාකාරීන් මෙයට වග කිව යුතුය.
                         එහෙත් භාෂා ගණනාවක් කතා කරන, ආගම් ගණනාවක් අදහන, කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් පමණක් නොව නිදහසින් පසු බිඳී ගොස් වෙනම රාජ්‍යයන් බවට පත්වූ බංග්ලාදේශය හා පාකිස්ථානයේද හැමෝටම තාගෝර් මහා ගුරු දේවයා විය. ගීතාංජලිය ඔවුන් හැමෝගේම මහා කාව්‍යය යි.  ඔවුන් බෙදා වෙන් කළ වර්ගවාදි චින්තනයට ඉහළින් සිතීමටත් කි‍්‍රයාකාරී වීමටත් තාගෝර් තුමාට හැකිවීම නිසාය ඒ මහෝත්තම බව ලබාගත හැකි වූයේ.
                           ටොරොන්ටෝවේ දී අප තාගෝර් සැඳෑව පැවැත්වූයේ ඉන්දියානු කලාකරුවන් සමග නොව බංග්ලාදේශී කලාකරුවන් සමග එක්වය. එ් සරබෝනි බරුවා, සුචනා බරුවා හා මෝනලීසා බරුවා යන අතිෂය කන්කලූ හඬින් ගී ගයන ගායිකාවන් සමග එක්වය. ඉනුත් සරබෝනි හා සුචනා, තාගෝර් ගීත පමණක් ගයන බංග්ලාදේශයේ ජනපි‍්‍රය ගායිකාවන්ව සිට කැනඩාවට සංක‍්‍රමණය වූවන්ය. බංග්ලාදේශී කලාකරුවන්ට තාගෝර්තුමන් අපට වඩා නුදුරුය. ඔවුන්ට එතුමන් මිනිසත්කම බව ඉක්මවා දේවත්වයට පත් වූ අයෙකි. අපට තාගෝර්තුමන් වෙත ඇත්තේ එවන් නුදුරු හැඟීමක් නොවේ. 1940 දී ලංකාවට සිය ‘සාපමෝචන්’ නාට්‍යය හා පැමිණි තාගෝර්තුමන්ට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයෝ තාපස වෘතයක් පුරන නිකම්ම නිකම් සෞන්දර්යවාදියෙක් ලෙස නිග‍්‍රහ කළේය. අප තාගෝර් ප‍්‍රසංගය සංවිධානය කිරීමේදී ඇතමුන් තාගෝරුත් මේ ප‍්‍රසංගයට සහභාගි වෙනවාදැයි ඇසුවේය. එහෙත් තාගෝර් ගැන හැඟීමක් තිබුණු සැලකිය යුතු පිරිසක් ද අප අතර සිටියෝය.
                
                      තාගෝර් සංගීතයේ වඩා විචිත‍්‍ර බව ඇත්තේ සංකීර්ණ නොවූ නාදමාලා සරල සුගම වංග පදමාලා හා ගායනයේ ඒකාත්මික බව තුළ මැවෙන සරල සුන්දරත්වයේ යැයි මට සිතේ. ඇතැම් අවස්ථාවලදී සරබෝනි බරුවා විසින් ඇතැම් තාගෝර් ගීත සංගීතය නැතිව ගායනා කරනු මම අසා සිටියෙමි. සංගීතය නැතත් පදමාලා හා තනුව ඇසුරෙන් නිෂ්පාදිත මිහිරියාවක් එ්වායේ ඇත. ඒ මිහිරියාව තාගෝර් සංගීතය ලොව පුරා විහිද වීමට සමත්වී යයි මට සිතේ.
                   පේ‍්‍රමසිරි කේමදාසයන් නිරන්තරව කියූ දෙයක් වූයේ සිංහල සංගීතය දේශ සීමාව තුල සිරගතව ඇති බවයි. ඒ කතාවේ ඇත්තක් ඇත. එහෙත් ලෝකය දෙස බලා සංගීත නිර්මාණ කිරීමෙන් එහි තිබිය යුතු හෘදයංගම බව විනාෂ කර ගත යුතුද?  තාගෝර්තුමන්ගේ සංගීතය ඇතුළු සකල කලාවන් නිර්මාණය කළේ ඉන්දියානුවන් අරබයාය. එහෙත් ඔහු විශ්වීය දැක්මක් සහිතව එ් සියල්ල කළ හෙයින් ඒවා ලෝකය දයාබරව වැළඳ ගත්තේය.
                   තාගෝර් ප‍්‍රසංගයක් සංවිධානය කිරීම වෙත  මා ඇද දැමූ අවදානම් සහගත කාර්යය මවෙත සහනශීලී වූ ද, පූජනීය වු ද හැඟීම් ගෙන ආවේය. මේ නිරායාස හැඟීම සාර්ථක විශිෂ්ටත්වයක් ළඟා කර ගත්තේය. ආවා වූ හැමෝම දැහැන්ගත කිරීමටත් එයට සහභාගි වූ ගායක ගායිකාවන්ට හැකිවිය. අප පාර්ශ්වයෙන් තාගෝර්ගේ සිංහල නිර්මාණ ගායනා කළෝ කිත්සිරි ජයසේකර හා අනුෂා ජයසුන්දරයි.  කිත්සිරි ‘පොඩිමල් එතනෝ’ බංග්ලාදේශ ගායිකා සරබෝනි බරුවා සමග ගයන විට රසිකයෝ සතුටින් ඔල්වරසන් දුන්හ. කිත්සිරිටද, අනුෂාටද අභියෝගයක් වූ තාගොර් සැඳෑව සොඳුරු ලෙස ජය ගැන්මට ඔවුන් සමත් විය.
කාලය ගෙවී යයි. එ් අතරතුර මනරම් සිහින පෙනේ. තාගෝර් සැඳෑව අතීතයට යාවුණු සැබෑ වූ සිහිනයකි. එ් සැඳෑවේ ප‍්‍රධාන සංවිධායකයා මා වුවත් මම සියල්ල චමිලට බාර දී නිහඬව තාගෝර්තුමන් දෙස බලාගෙන ගීත රස වින්දෙමි. එනම් ජීවිතය රස වින්දෙමි.
               උසස් කලා කෘති රස විඳින විට එ්වා දීර්ඝකාලීනව රස විඳීමට හතුරු කොන්දේසි ගැන අවබෝධයක් ඇතිවන බව සුචරිත ගම්ලත් මහදුරුතුමන් කියා ඇත. ඇත්තටම ප‍්‍රසංගය අවසානයේ එසේ දැනුනි. සමස්ත තාගෝර් සැඳෑව පූජා කර තිබුණේද මහාචාර්ය ගම්ලතුන්ගේ ශී‍්‍ර නාමයටය. එ් ඔහු භාරතීය කලාව පිළිබඳ අපගේ දැනුම පුළුල් කල මහා පුරුෂයකු නිසාය.
තාගොර් සැඳෑව නිමාවිය.
ආශ්වාදයේ මතු මහල පිරිමැද්දෙමි.
ජීවිතයට මිහිරි යම්දෙයක් ඉතිරි විය.
එමගින් පෙරට වඩා
ජීවිතය පොහොසත්ය.
කාලයේ වැලිතලාවට යටවුන නමුත්
නොමැරි පන ගැහෙන එකම දෙය
ඒ ආශ්වාදය පමණකි ය.