Monday 30 December 2013

සමකාමීන්ගේ සාහිත්‍ය කලා


             කි‍්‍රස්තියානියේ මූල ග‍්‍රන්ථය වන බයිබලය තුලම සමලිංගිකත්වය දෙවියන්ගේ කැමැත්තට එරෙහිව යන පාපකාරී කි‍්‍රයාවක් ලෙස හඳුන්වා තිබේ.  ඉස්ලාම් ධර්මයේ සමලිංගිකත්වය මව සමග නිදි වැදීමක් සේ සලකා නින්දා අපහාස කොට දෙවියන්ගේ අඩවියට පිවිසීමට බාධා කරන පාප කර්මයක් සේ හඳුන්වා ඇත. බුදු දහම තුළ  සමලිංගිකත්වය පිළිබඳ නිර්වචනය කවර එකක්දැයි හඳුනාගත හැකි සඳහනක් නොවෙතත් ස්තී‍්‍ර පුරුෂ මෛථූන්‍යය පිළිබඳ  විවිධ වාරණයන් ගැන ධර්මයේ සඳහන් වේ. පාරාජිකා පාළියේ භික්ෂුවක් පාරාජිකවන ප‍්‍රධානතම කරුණක් සේ හඳුන්වා බුද්ධ වචනයෙන්ම එයට ගර්හා කොට ඇත.
         ‘හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශිවිෂයක්හූගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි. මාගමක ගේ අංග ජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය තා විසින් කෘෂ්ණ සර්පයුක්හගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ මැනවි. මාගමකගේ අංග ජාතයෙහි සිය අංග ජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය, තා විසින් ඇවිලගත්, හාත් පසින් ඇවිලගත් ගිනිදැල් සහිත වූ ගිනි අඟුරු වලක අංග ජාතය බහාලන ලද්දේ නම් මැනවි. මාගමකගේ අංගජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි.... –
පරාජිකා පාළිය - ප‍්‍රථම පාරාජිකය
.

           පසුගියදා ලංකාවට පැමිණ සිය The Hungry Ghosts කෘතිය ජනගත කළ ෂ්‍යාම් සෙල්වදොරේ කැනඩාවේ හා ඇමරිකාවේ සම සමව ජීවත්වන ශී‍්‍ර ලාංකික දෙමළ ලේඛකයෙකි. ඔහු විසින් රචිත Funny Boy ජානගත සමලිංගිකත්වයක් සහිත දරුවකු සම්ප‍්‍රදායික සමාජ වටාපිටාවක ඔහුගේ ජීවිතයේ සුපුෂ්පිතත්වය උදෙසා කරන අරගලය නිරුපිත විශිෂ්ට ගණයේ කෘතියකි. Funny Boy සමලිංගික සාහිත්‍ය ප‍්‍රවර්ධනය සඳහාම ඇති ඇමෙරිකාවේ  Lambda Literary ත්‍යාගයෙන් හා කැනඩාවේ First Novel Award  ත්‍යාගයෙන් පිදුම් ලද නවකතාවකි. එය කැනඩාවේ York විශ්වවිද්‍යාලය ඇතුලූ විශ්වවිද්‍යාල කිහිපයකම නිර්මාණාත්මක සාහිත්‍ය (Creative Writing) පාඨමාලාව සඳහා නිර්දේශ ග‍්‍රන්ථවලින් එකකි. මා කැනඩාවට සංක‍්‍රමණය වූ 2004 සිට දකින දෙයක් නම් මෙරට පොත් සාප්පුවල අඛණ්ඩව අලෙවි වන ග‍්‍රන්ථයක් ලෙස Funny Boy පවතින බවයි. සුගතපාල ද සිල්වා විසින් එයට අතිරේක ජීව ගුණයක් දෙමින් පරිවර්තනය කරන ලද එම නවකතාව අමුතු ඉලන්දාරියා නමින් පාඨක ලෝකය කැළඹූ බව අපගේ මතකයයි.
             බයිබලය කෙසේ සනිටුහන් කළත් රෝමය වරින් වර කොතරම් බලාත්මක ප‍්‍රකාශ නිකුත් කළත් බරපතළ  සම්බාධක මධ්‍යයේ සමලිංගිකත්වය ශිෂ්ටාචාර විෂයයක්  ලෙස දුරාතීතයේ සිටම අඛණ්ඩ ගමනක් පැමිණ ඇත. එහෙයින්ම එය සකල කලාවන්ගේම නිමිත්තක් ලෙස උපයෝගී කර ගන්නා කලාධාරාවක් ලෙස ගැනේ.
          ගී‍්‍රක මිථ්‍යා කථාවන්හි එන Zephyr yd Hyakinthos දෙදෙනා නිරූපිත ගී‍්‍රක යුගයට අයත් චිත‍්‍රය සමලිංගික කලාවේ නිතර භාවිතාවේ. කලාව පොහොසත් හා සරුසාර අස්වනු නෙලාගත්තේ එය දේශපාලන, ආගමික හා සදාචාර අවනතවීම්වලින් තොරව නිදහසේ ගලාගිය යුගයන්හිදීය. ගී‍්‍රක යුගය එවැන්නකි. අපගේ අනුරාධපුර යුගයත් එවැනි  දේශීය උදාහරණයකි.
          අද වන විට අතු ඉතිලා වැඞී ඇති සමකාමීන්ගේ සාහිත්‍යය පිළිබඳ එ් විෂයය පිළිබඳ පර්යේෂකයකු වන Kilan Melroy සිය Influential Gay Characters in Literature කෘතියේ මෙසේ කියයි. ”ඓතිහාසික දැනුම පද්ධතිය තුළ සමලිංගික සාහිත්‍ය වනාහි නවීකාරක සාහිත්‍යාංගයක් ලෙස හඳුනාගත යුතුය. එය ලෝක සංස්කෘතික උදුනේ පැසුණු උණුසුම් කලාංගයකි. ඒ සාහිත්‍යාංගය පිළිබඳ ඔබ පුදුමයට පත්විය යුතු නැත. මක්නිසාද යත් එය මානව ජීවිතයට අකලංක සබඳතාවක් ඇති හෙයිනි. ”
            පළමුවන හා දෙවන ලෝක යුද්ධ හා කාර්මික විප්ලවය බටහිර ලෝකය විශාල තිගැස්මකට භාජනය කළේය. ඒත් සමගම මාක්ස්වාදය හා ලිබරල්වාදය මානවයාගේ නිදහස අරභයා හරි හරියට  පෙනී සිටීම නිසා බටහිර ලෝක හැඩතලය සම්ප‍්‍රදායික වැඩ වසම් රාමුවෙන් මිදී වෙන්විය. මනුෂ්‍යයාගේ සහජාසයන්, එ් ඇසුරින් පුද්ගලයාට ආවේණික චේෂ්ටාවන් උදෙසා දේශපාලන ක‍්‍රමය පෙනීසිටින්නට පටන් ගත්තේය. කැනඩාව ඇමරිකාව වැනි බටහිර අන්තයේ රටවල්, ස්කැන්ඩියේවියානු රටවල් හා බටහිර බොහෝ රටවල් සාමුහිකව මේ වෙනස්කමට භාජනය විය. එය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුල වූ දෙයක්  ලෙස දැක්විය හැකිය. සමලිංගිකත්වය සුළුතරයකගේ ජීවිතාභාෂයක් වුවත් පුද්ගලයා ප‍්‍රමුඛකොට ගත් මෙම සුසංවාදී දේශපාලන ක‍්‍රමය තුළ එයට වැදගත් කමක් ලැබේ.
            සමකාමීන්ගේ සාහිත්‍යය , එකී සහනදායි වටාපිටාව තුළ ඉපදී  පෝෂණය වූ කලාවක් ලෙස හැඳින්විය හැකිය. නිව්යෝක් හි පිහිටි Leslie + Lohman Museum of Gay and Lesbian Art කෞතුකාගාරය සමකාමීන්ගේ කලාකෘති පිළිබඳ දැන හඳුනාගන්නට කැමති කලාරසිකයන්ගේ නොමද සැලකිල්ලට ලක්වූවකි.
            කැනඩාව විධිමත් අයුරින් කලාංගයක් ලෙස සමකාමීන්ගේ සාහිත්‍ය හා මාධ්‍ය උදෙසා ඉඩදෙන සමාජයක් ලෙස හැඳින්විය හැකිය. වසන්ත සමයේ පැවැත්වෙන සමකාමීන්ගේ ඉහළම සංස්කෘතික සංදර්ශනය වන Proud  සැනකෙළියට කැනඩාවේ සියලූම බැංකු, පොලීසිය, නගරසභා දේශපාලන පක්ෂ උදව් කරනවා පමණක් නොව එ්වාට සහභාගිවීමෙන්ද දිරිදේ. ප‍්‍රාථමික පාසල්වල සිට විශ්වවිද්‍යාල දක්වා සෑම තැනකම සමලිංගිකයන්ට අපහාස නොකරන ලෙසත් ඔවුන් තමන්ගේ හිතමිතුරන්සේ බාරගන්නා ලෙසත් ඉල්ලා සිටින ක‍්‍රමවේදයක් ඇත.
          මෑත කාලයේ කැනඩාවේ හා ඇමරිකාවේ සමකාමීන් ගේ සාහිත්‍යයට අදාළව බිහිවුණු උසස් ගනයේ කෘති ලෙස හඳුනාගත හැකි නිර්මාණාත්මක ග‍්‍රන්ථ ගණනාවකි. ඇතැම් කෘති E-book  ලෙස ඔබටද මුදල් ගෙවා අන්තර්ජාලය හරහා බා ගත හැකිය.
           සමකාමිනියක වූ තරුණ සමාජ කි‍්‍රයාකාරිනියක් සිය  පෞද්ගලික ජීවිත පොදු සමාජ හා දේශපාලන ජීවිතය හා ගැටෙන අන්දම තේමාව වූ Jeanne Cordova  ගේ When we were outlaws නම් වූ කෘතිය, 1920 පමණ කාලයේ ඇමරිකාවේ ප්ලොරිඩා හා ජෝර්ජියාවේ සංක‍්‍රමණික අවධියේ සමකාමී ස්ති‍්‍රයකගේ අභිලාෂයන් කි‍්‍රයාත්මක කිරීමේදී දරන අරගලය දැක්වෙන  Sheila Ortz ගේ Homestead  කෘතියCharles Gonzalez ගේ Chilto, Maggie Morton ගේ Under Her Spel වැනි උසස් ගණයේ සාහිත්‍ය කෘති ගණනාවක් සමකාමීන්ගේ සාහිත්‍යයට මෑතකදී එකතු වී තිබේ.
             කැනඩාවේ ජීවත්වන, සමකාමී සාහිත්‍යයට විශිෂ්ට සම්ප‍්‍රදායක් කළ සාහිත්‍යකරුවා හා විද්වතා ෂ්‍යාම් සෙල්වදොරේ විය හැකිය.Funny Boy, (1994) Swimming in The Monsoon (2005), The Hungry Ghosts (2013) Cinnamon Gardens (2011) කෘතින්  ඔහුගේ ප‍්‍රමුඛ පෙළේ කෘතින්වේ. ඊට අමතරව නවකතාකරුවන් ලෙස ඇමරිකාවේ ඉපදී කැනඩාවට සංක‍්‍රමණය වූ Will Aitken ගත හැකිය.  ඔහු සිනමා විචාරකයෙකු හා ජනමාධ්‍යවේදියෙකු ද වේ. යේමනයේ Aden හි උපත ලද Kamal Al - Solaylee සිය අභිලාෂයන්ට උපන් රටේ දී වන බාධා නිසාම කැනඩාවට සංක‍්‍රමණය වූ සාමකාමී සාහිත්‍යයට ගිනිය හැකි නවකථා රචකයෙකි. මැදපෙරදිග වටාපිටාව හා සමකාමි ජීවිතය අතර ගැටුම ඔහුගේ කෘති  සමහරක තේමාව වේ. ඔහුගේ ප‍්‍රමුඛ ග‍්‍රන්ථය ලෙස ගැනෙන්නේ Intolerable: A Memoir of Extremesය. Linden Macintyre ගේ The Bishop's Man,  Gerry Burnie ගේ Nor All the Tears, Timothy Findlay ගේ Headhunter, Patricia Maria Budd f.a Hadrian's Lover වැනි කෘතින් වත්මන් කැනේඩියානු සමකාමී සාහිත්‍යයේ උසස් කෘති ලෙස ගණන් ගැනේ.
          කලා  ලෝකයේ නව කලාපයක් විවෘත කරන සමකාමීන්ගේ නව සාහිත්‍ය කලාවන්ට ඇත්තේ දහනව වන සියවසේ මුල් භාගයටත් එහා ගිය ඉතිහාසයකි. එමෙන්ම ගී‍්‍රක රෝම යුගයට ඇදෙන පෞරාණික ඉතිහාසයකුත් එයට හිමිය. සමකාමී සාහිත්‍ය කලාවන් පෝෂණය කරන්නේ සමකාමීන් පමණක් නොවේ. කාරුණිකව මනුෂ්‍ය සොබාව දෙස බලන පොදු කලාකරුවන් අතින්ද සමකාමි සාහිත්‍ය කලාවන් පෝෂණය වේ . ඇත්ත වශයෙන්ම වැඩිපුර සිටින්නේ ඔවුන්ය.
චන්ද්‍රරත්න බණ්ඩාර

1 comment: