Monday 14 April 2014

සාපරාධී යුද සංග‍්‍රාම : නිර්ව්‍යාජ කලාකරුවෙකුගේ අවිඥානක මැදිහත්වීම

සාපරාධී යුද සංග‍්‍රාම :
නිර්ව්‍යාජ කලාකරුවෙකුගේ අවිඥානක මැදිහත්වීම
         යුද සංග‍්‍රාම නම්වූ මාතෘකාවට ‘සාපරාධී’ නැමති විශේෂණය එක් කිරීම මගින් කතුවරයාගේ යුද්ධය පිළිබඳ ඇති නොකමැත්ත දෘෂ්‍යමාන වේ. ගුණසිරි බණ්ඩා වීරසූරිය සිය දශක දෙක තුනක් ඈතට දිවයන සිය ලේඛක ජීවිතයේ අප‍්‍රතිහත ධෛර්යයේ මහඟු ඵල ‘සාපරාධී යුද සංග‍්‍රාමය’ නමැති කෘතියෙන් නෙලාගෙන ඇත.
          ඔහුගේ මෙම දැවැන්ත කෘතිය ගැන කතා කිරීමට පෙරාතුව කොළඹ කේන්ද්‍රීය සාහිත්‍ය සමාජයේ ඇස නොගැසෙන එහෙත් සාහිත්‍යයේ විශේෂිත සානරයක් තෝරාගෙන එහි පූර්ණ කාලීනව නියැළී සිටින ගුණසිරි ගැන කතා කිරීමට මිඩංගු කළ යුතුමය. ගුණසිරි ජීවත්වන්නේ මහනුවරින් එපිට ප‍්‍රත්‍යන්ත පෙදෙසකය. එමෙන්ම  කොළඹ නාගරික සංවාදයේ දුරස්ත සහභාගිකයෙකුවත් නොවෙමින් මහනුවර ආශි‍්‍රතව වන ප‍්‍රාදේශීය සංවාද සමාජයක කොටස් කරුවෙකුව සිටී. මහනුවර සවිඥානක සමාජයට, තම බුද්ධි ජීවින්ගේ යහපත සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධ වෙමින් තම බුද්ධිමය ජීවිතයේ පෝෂණය සඳහා බාහිරව සිට යොදා ගත හැකි බව මට හැ`ගී ගියේ මේ ගුණසිරි නිසාය. එහෙත් ඇත්ත කාරණය නම් බාහිර සමාජය තබා  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිටවුවෝ පවා තමාගේ අඛණ්ඩ දැනුම පෝෂණයේ කොටස්කරුවකු ලෙස පේරාදෙනිය තබා ගැනීමක් නැත. එහෙත් ගුණසිරිගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු නුපුහුණු ගුරුවරයෙකි. ඔහු විශ්වවිද්‍යාල උපාධියක් ලැබූවෙකුද නොවේ. එහෙත් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය , එහි වැදගත් ගුරු භවතුන්, එහි අගනා පුස්තකාලය, තම දැනුම වර්ධනයේ කෝෂ්ටාගාරය කර ගත්තේය. ගුණසිරි ඊට අමතරව මහනුවර මහජන පුස්තකාලය, බි‍්‍රතාන්‍ය කවුන්සිලය එකී කාර්යයේම සහායකයන් කර ගත්තේය. උත්සාහයෙන් දෙවෙනි භාෂාව උගත් ගුණසිරි එකී භාෂා දැනුමේ උසස්ම අදියරට පත්වීමට ඔහුට හැකි විය. ඉතා ප‍්‍රතිභාපූර්ණ පෞරුෂයෙන් යුත් විශේෂ හඬකට හිමිකම් කියන ගුණසිරි තමන්ගේ පද රචනා සහිත ගීත ගණනාවක හිමිකරුවා වී සංයුක්ත තැටියක්ද නිෂ්පාදනය කළේය. වැඩි දුරක් නොගියත් ව්‍යුත්පත්තිය සහිත චිත‍්‍ර ශිල්පියෙකු ලෙස හැත්තෑව දශකයේ අගභාගයේ තමාගේම චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වීය. ඔහුගේ අතීතය හඳුනාගන්නා අපට පැහැදිලි වන්නේ ඔහුගේ සංගීත හා චිත‍්‍ර ශිල්පි ජීවිතය ඉදිරියට නොගියේ කොළඹ කේන්ද්‍රයට ඇතුළත් නොවී එවැනි අපූරු හැකියාවන් ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල සිට යථාර්තයක් කර ගත නොහැකි නිසා බවය.
             ගුණසිරි ලේඛකයෙකු ලෙස ස්පර්ෂ කරන්නේ සමාජයීය විෂයන්ගේ අමුතු කලාපයකි. ‘සාපරාධී යුද සංග‍්‍රාම’ පවා ගිනිය හැක්කේ එකී කලාපයටය. ‘විශ්ව මනස හා දේවත්වය’ , ‘යුද්ධය’ , ‘හෙළ සභ්‍යත්වය’, ‘නිර්මාණ වාදය හා ජීවයේ සම්භවය’, ‘මිනිසා දෙවියා හා මනස’, ‘සිංහල සමාජය හා සංස්කෘතිය’, ‘බුදු සමය එළි කරන මනෝ විද්‍යාත්මක ලකුණ’ ඔහුට අයත් සාහිත්‍ය කලාපයේ නිෂ්පාදනයෝය.
ගුණසිරි ගේ ‘සාපරාධී යුද සංග‍්‍රාම’ කෘතිය ශිෂ්ටාචාර ගමනේ යුද්ධයේ කතාන්තරය පිළිබඳ පාර්ශ්වික අර්ථ ගැන්වීමකි. ‘පාර්ශ්වික’ යන විශේෂණය මා යොදන්නේ යුද්ධයේ ගර්හිත බව හා එය මානව ඛේදවාචකයක් බව විශ්වාස කරමින් එකී කෘතිය රචනා කර ඇති නිසාය. යුද්ධය වීරත්වයට සමගාමීව යෙදීමේ වරද ලංකාවේ ජාතිකවාදීන් අතින් පමණක් සිදු වූවක් නොවේ. ලෝක ආගමික උරුමය පිළිබඳ අවිවේචනාත්මකව ඇලී ගැලෙන උදවියද යුද්ධය වීරත්වයට නගයි. ගී‍්‍රක - රෝම යුගය ගැන කියන්නෝ පවා එකල්හි සිදුවූ යුද්ධ විසින් මානවීයත්වය කෙලසීමකට ලක් කළ බව නොකියති. එ් ආකාරයෙන් ඔජ ගැන්වුණු යුද්ධය පිළිබඳ මානසිකත්වය සියවස් ගණනක් ඇවෑමෙන් මානව සිතීම් පද්ධතියට ඇතුළත් වූවා විය හැකිය.
කුරුස යුද්ධ මාලාවටත් පෙර සිට දෙවන ලෝක යුද්ධය දක්වා වන ශිෂ්ටාචාරයේ බොහෝ ඈත සිට ඇරඹුන යුද්ධ කි‍්‍රයාවලිය එයට අදාළ පූර්ණ තොරතුරුද සමග ‘සාපරාධී’ යුද සංග‍්‍රාම කෘතියෙන් හෙළිදරව් කර ඇත. එකී යුද්ධයන්ට පෙළඹුම් සාධක හෙළිදරව් කරමින්ම එ්වා මානව ඛේදවාචකයක් වූ ආකාරය ගුණසිරි හෙළිදරව් කරන්නේ තමන්ගේ ආස්ථානයට අදාළව  සත්‍ය තොරතුරුද ගෙන හැර දක්වමිනි.
සාපරාධී යුද සංග‍්‍රාම, ඈත අතීතයේ කුරුස යුද්ධවල සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ විශේෂිත යුද්ධයන්හි උපක‍්‍රමික කි‍්‍රයාවලිීන්, නායකත්වය දුන් පුද්ගලයන්ගේ ස්වකීය පෞරුෂයන් මැනවින් වටහා ගත හැකි ලෙස ගුණසිරි සිය කෘතියේ විස්තර කරයි. ගුණසිරි යුද්ධය ගැන මෙසේ ලියයි.
‘හේතු කුමක් වුවද මිනිස් වර්ගයා තමාගේ කාලයෙන් බොහෝ කොටසක් වැය කළේ යුද්ධය සඳහාම යයි නොකියා බැරිය. ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කළ ධන සම්භාරයෙන් වස්තු සම්භාරයෙන් වැඩි කොටසක් මිනිස් වර්ගයා වැය කළේද යුද්ධය සඳහාම බව පෙනී යයි. මිහිමත මෙතෙක් කළ යුද්ධ සඳහා වැය කළ ධන සම්භාරය සලකා බැලූව හොත් වෙනත් නව ග‍්‍රහලෝකයක් ශිෂ්ටාචාරවත්වයට පත් කිරීමට තරම් සෑහේ යයි සිතමු.’
           යුද්ධය, ශිෂ්ටාචාරයට නව පාඩම් කියා දුන් බව සැබෑවකි. මොංගෝලියන්වරු උත්තරභාරතය ආක‍්‍රමණය කිරීම මහා භාරත කතාවට නිමිති වීය. ගී‍්‍රකවරුන් ට්‍රෝයි පුරය ආක‍්‍රමණය කිරීම ‘ඉලියඞ්’ මහා කවට පාදක විය. ගී‍්‍රක නාට්‍යකරුවන් වන ඊස්කිලස්, සොපොක්ලීස්, යුරිපීඩිස් වැනි කලාකරුවෝ යුද පුවත්ම සිය නිර්මාණ සඳහා යොදාගෙන ඇත.
           ගුණසිරි මේ තතු උදාහරණ සහිතව ක‍්‍රමිකව විස්තර කරයි. යුද්ධයේ පාඩම් ශිෂ්ටාචාරයක් ගොඩනැංවීමට උපස්තම්භක විය හැකි මුත් එය කෙතරම් එදිනෙදා මානව ජීවිතයට හතුරුවීද යන්නද පෙන්නුම් කෙරේ.
‘කුරුස යුද්ධ මාලාව’, ‘ජෙන්ගිස්ඛාන්ගේ යුද්ධ’, ‘ටීමුර් නැමති ආක‍්‍රමණිකයා’ ‘නැපෝලියන්’ ’පළමු ලෝක යුද්ධය’ ‘බිස්මාක් ගොනුකළ උරුමය’ ‘දෙවන ලෝක යුද්ධය හා හිට්ලර්’ ආදී වශයෙන් මාතෘකා දහයක් ඔස්සේ ඔහුගේ නිබන්ධනය ලියා ඇත්තේ එ් සඳහා වූ තමන්ගේ වෙහෙස මහන්සියද සනාථ වන පරිද්දෙනි.
ගුණසිරි සිය කෘතිය සමාප්තියේ ඔයැ ඍැඩදකඑ සබ එයැ ඔැපචකැ කෘතියෙන් උපුටා ගෙන මෙසේ කියයි. ‘යුද්ධය හා දිග් විජය ශිෂ්ටාචාරයේ පරම හතුරන් වන්නේය. කෑදරකමේ හා කලහකාරිත්වයේ මාරක ප‍්‍රථිපලයන්ගෙන් ගැලවීමක් නැත.
     
         සාපරාධී යුද සංග‍්‍රාම යුද්ධ ඉතිහාසය පිළිබඳ ඉහළ ගනයේ තොරතුරු එකතුවකි. එ් බව සනාථ කෙරෙන පාදක කෘතිවල ලැයිස්තුව පිරික්සීමෙන්ද අපට ඒ බව වටහා ගත හැකිය. කලාකරුවකු ලෙස කතුවරයාට හිමි ලතෙත් බව නිසාදෝ එ් තොරතුරු සියල්ල යුද්ධයේ ඔජ වඩන ප‍්‍රපංචයන් ලෙස නොව මානව ඛේදවාචකයක්ය, යන අදහස ජනිත වන සේ ගුණසිරි සිය කෘතිය තුළ සංග‍්‍රහ කර ඇත. එහෙත් ගුණසිරිගේ අදේශපාලනික බව මෙම කෘතිය පරිසමාප්තියකට  රැුගෙන නොයයි. ලෝක ඉතිහාසයේ තීරණාත්මක යුද්ධ අරබයා ඔහු පෙනී සිිටින්නේ එ්වා එසේ නොවූවා නම් හොඳයයි සිතන මානව හිතවාදී දෘෂ්ටියක පමණක් පිහිටාය. එහෙත් ලංකා ඉතිහාසයේ මෑතකදී අවසන් වුණු එල්ටීටීඊයට එරෙහි  යුද්ධයේදී ඔහු එක එල්ලේ ජයග‍්‍රාහකයන්ගේ හා එහි න්‍යායික පඬිවරුන්ගේ පැත්ත ගනී.
සාමය පිළිබඳ ගුණසිරිට ඇති අවිඥානක හැඟීම් විසින් මෙම කෘතිය සාපරාධී යුද්ධ හෙළා දැකීමේ දෘෂ්ටිවාදී මාවතක ගමන් කරවයි. එහෙයින්ම මෙම කෘතිය අනගි නිෂ්පාදනයක් බවට පත්වේ. එහෙත් සවිඥානක ගුණසිරි මෙම මානවවාදී කෘතිය වත්මන් යුදවාදීන්ගේ කීර්ති කදම්බයන් හා යා කරන්නට උත්සාහ කරයි. එ් මෙසේය. පොත පිළිගන්වා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටය. එසේ පිළිගන්වමින් ගුණසිරි මෙසේ කියයි. ‘ප‍්‍රභාකරන්ට විනාෂය ගෙනදුන් දේශපේ‍්‍රමී යුද්ධයේ ප‍්‍රධාන නියමුවා වූ ගරු ආරක්ෂක ලේකම්තුමාට සහ රට වෙනුවෙන් දිවි දුන් ආදරණීය රණවිරුවන් ඇතුළු සියලූම රණවිරුවන්ට’ යුද්ධයට කැපී පෙනෙන පක්ෂපාතිත්වයක් දැක්වූ චින්තකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වාගේ උපුටනයක්ද මේ කෘතියේ යම් කරුණක් සනාථ කිරීමට බහා ඇත.
    කෙසේ වෙතත් එකී කරුණු වනාහි කෘතියේ සාරවත් බව නොකෙලසූ අමතර එල්ලූ නොගැලපෙන දේවල් ලෙස ගතමනාය.
         භයංකර ජනඝාතන යුද්ධයක් කෙළවර නව සිතුම් පැතුම් සමුදායක් එ් ඔස්සේ ගොඩ නැගෙමින් ලාංකීය ශිෂ්ටාචාරයේ නව වෙනස්කම් වෙමින් පවතින මෙවැනි අවධියක ”සාපරාධී යුද සංග‍්‍රාම” කෘතිය වනාහී නොසලකා හැරිය නොහැකි , යුදවාදීන්ට මෙන්ම සාමවාදීන්ටද වැදගත් කෘතියකි.
                 චන්ද්‍රරත්න බණ්ඩාර


Friday 4 April 2014

මහදුරු සරච්චන්ද්‍ර : සිංහල කලාවේ ගමන් තරුව


       දශක තුනක් හෝ ඊට වැඩි කාලයක් මුළුල්ලේ මනමේ නාටකය අට වතාවක්ද, සිංහබාහු දොළොස් වතාවක්ද නරඹා මෙම ලේඛකයා විසින් එකී කලාකෘති සිය වින්දනීය ජීවිතයේ කොටසක් කරගෙන ඇත. සරච්චන්ද්‍රයන්ගේ ඍජු ගෝලයකුද නොවන මෙම ලේඛකයාට මනමේ හා සිංහබාහු සිය ජීවිතයට මෙතරම් බලපෑවේ ඇයි? මනමේ හා සිංහබාහුත් සරච්චන්ද්‍රයන්ගේ බුද්ධි ජීවිතයත් සිය කලාත්මක දැනුමේ කොටසක් ලෙස පූජනීයත්වයෙන් තබාගත් පුළුල් ජන සමාජයක් මනමේ ආරම්භයේ සිටම ශී‍්‍ර ලංකාව තුලත් ඉන් පිටතත් ජීවත් විය. . එහෙත් සරච්චන්ද්‍රයන් විසින් සඳහන් කර ඇති පරිදි වත්මන් වනික් ක‍්‍රමික සමාජය (වෙළෙඳපළ ක‍්‍රමයට මුල් තැන දුන් සමාජය) රටේ ක‍්‍රමයෙන් ස්ථාපිත වීමත් සමග එකී පෙර කී ප‍්‍රබුද්ධ ජන  සමාජය ක‍්‍රමයෙන් හීන වී ගියේය.
         ලෝකයේ අඛණ්ඩව ලියැවුණු පුරාණ බව අතින් ඉහළම කෘතිය යයි සැළකෙන ඉතිහාස ග‍්‍රන්ථය මහාවංශයයි. එවැනි කෘතියක් ජාතියක් සතුවීමෙන්ම එකී ජාතියේ ශිෂ්ටාචාරවත් බවේ පොහොසත්කම කියා පායි. එහෙත් එකී වසර 2500ක් පැරණි සංස්කෘතියට බිහිවූ පළමු මහා ගාන්ධර්වයා අමරදේවයන් බව කියන්නේ මහචාර්ය සුනිල් ආරියරත්නයන්ය. එමෙන්ම එයට ඌන පූරණයක් කරමින් අපට කිව හැක්කේ එකී වසර 2500ක ඉතිහාසය තුළ බිහිවූ පළමු උසස් නාට්‍යය මනමේ බවයි. නාට්‍යවේදියා සරච්චන්ද්‍රයන් බවයි. මනමේ බිහිවූ 1956 නොවැම්බර් 8 වන දින, සංවේදී සංස්කෘතික මිනිසෙකු වන මෙම ලේඛකයාට නම්, ලංකාවේ නිදහස් දිනයට වඩා වැදගත් ඵල ප‍්‍රයෝජන රටට ලබාදුන් දිනයකි. අපගේ පෙබරවාරි සංස්කාරක සටහනින් විස්තර කළ පරිදි රෙදි බැනියම් අඳින හීනමානීය සමාජ බලවේගයන් අතට බලය ලැබීම ලංකාවේ නිදහස යනුවෙන් සංකේතවත් කරයි. විනයක් නැති ගමනක සමාරම්භය ලංකාවට නිදහස ලැබුණු පෙබරවාර හතර වෙනිදා සටහන් කෙරුණු බව අපගේ අදහසයි.
එහෙත් මනමේ සහ සිංහබාහු යනු අද වන විට වසර හැටකට ආසන්න කාලයක් දික් ගැසුණු වැඩිණු පිරිපුන් සිංහල නාට්‍ය කලාවකට ගුරු වූ උසස්ම ගණයේ නාට්‍ය දෙකකි. එ්වා මේ වන විට දස දහස් වාරයක් පමණ රට පුරාත් ලෝකයේ ඇතැම් තැන්වලත් ප‍්‍රදර්ශනය කොට තවමත් රංගගත වෙමින් තිබේ. සිංහබාහු නාටකයේ සුප්පාදේවි ලෙස රඟපෑ මාලනී රණසිංහත්, එහි ඵලමු පොතේ ගුරුගේ භූමිකාව නිරූපණය කළ ටෙරන්ස් රණසිංහත් ලෝකයේ දීර්ඝ කාලයක්, දීර්ඝ වාරගණනක් එකම චරිතය රඟ පෑමෙන් ලෝක වාර්තාවක් පිහිටුවා ගිනස් පොතටද ඇතුලත් කෙරිණි. පරම්පරා තුනකට අයත් නළු නිලියෝ  මනමේ සිංහබාහු නාටකවල චරිතවලට පන පොවමින් ගෙවී ගිය ඉතිහාසය මුලුල්ලේ  එ්වා වර්ණවත් කළෝය. බෙන් සිරිමාන්න, ශ්‍යාමන් ජයසිංහ, ටෙරන්ස් රණසිංහ, මාක් ඇන්ටනි ප‍්‍රනාන්දු, ටි‍්‍රලීෂියා ගුණවර්ධන, ධම්ම ජාගොඩ, නිශ්ශංක දිද්දෙනිය, විජය නන්දසිරි, ආදි වූ විශාල නළු නිළි කැළක් මේ ඉතිහාසය ගොඩ නැඟීමට දායක වූවෝය. එමෙන්ම සරච්චන්ද්‍රයන්ගේ අභාවයෙන් පසුව මෙකී නාට්‍යයන් කාලයේ වැලි තල අතරේ වහං වන්නට නොදී රැුක බලා ගන්නා සරච්චන්ද්‍ර ආර්යාව ලලිතාවන්ද බුහුමන් ලැබිය යුත්තේමය.
අද අප සමරන්නේ මනමේ නාටකය බිහිවීමේ පනස් අටවැනි වසර මෙන්ම, සිංහබාහු නාටකය බිහිවීමේ පනස් දෙවෙනි වසරයි. සිංහල නාටකයේ එකී මංගල ලකුණු බිහි කිරීමේ නිර්මාතෘ වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඡුන්ම ශත සංවත්සරයයි. මේ සියලූ කාරණා,  බොහෝ සමාජ අධ්‍යාත්මික කාරණා අතින් දුගී දුප්පත් වූ, තව දුරටත් දුප්පත් වෙමින් පවතින රටකට අහස තරම් උසට වටිනා කියන කාරණාය.
වසර පනස් අටක් හා වසර පනස් දෙකක් වශයෙන් මනමේ හා සිංහබාහු වේදිකාව මත අඛණ්ඩව රඟ දැක්වීමේ අනුහස කවරේද යන්න දිවි සැරිය නිමා කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය සමරණ මෙවැනි වකවානුවක සිහිපත් කිරීම ශී‍්‍ර ලංකාවේ ඉපදුනු ශිෂ්ටාචාරවත් මිනිසකුගේ අත් නොහැරිය හැකි යුතුකමකි. බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවති සිවිල් සේවා, තරඟ විභාගයෙන් දිවයිනේම පළමුවැන්නාට සමත්වූ ඔහුට සිවිල් සේවයට ඇතුළු වූවා නම් තමා ගෙවූ ජීවිතයට වඩා බොහෝ සැප සම්පතින් ආඩ්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබිණි. දක්ෂ ශිෂ්‍යයෙකු වූ සරච්චන්ද්‍ර සිංහල, පාළි, සංස්කෘත, බෞද්ධ සංස්කෘතිය, වැනි විෂයයක් තෝරා නොගෙන වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වැනි විෂයයන් තෝරාගත්තේ නම් ඔහුට ජාත්‍යන්තර ගණයේ විශිෂ්ටයකු වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ ශී‍්‍රමතාණෝ තෝරා ගත්තේ සිංහල, පාළි, සංස්කෘත වැනි අධ්‍යයන විෂයයන්ය. ඔහු විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණු පසු ඒ මනරම් පරිසරය තුළ සැප පහසුවට දිවි ගෙවමින් අකර්මන්‍ය ජීවිතයක් ගත නොකළේය. එ් වෙනුවට ගම් නියම්ගම් සැරි සරමින් එතෙක් පැවති සම්භාව්‍ය ලක්ෂණවලින් වියෝ වූ ටවර්හෝල් මිනර්වා ආදි නාට්‍ය වෙනුවට, සම්භාව්‍ය හා සංවේදී නාට්‍ය කලාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න සොයා බැලූවේය. එපමණක් නොව තමන්ට ලැබුණු අධ්‍යයන ශිෂ්‍යත්වයක්ද කැප කළේ යටකී සද්කාර්ය උදෙසා පර්යේෂණ කිරීමටය. එමගින් සරච්චන්ද්‍රයෝ ඇමරිකාවටද, ඉන්දියාවටද, ජපානයට ද ගොස් පර්යේෂණ කාර්යයන්හි නිරත විය.
දේශීයව හා විදේශීයව කෙරුණු මේ දැවැන්ත පර්යේෂණයේ ප‍්‍රතිඵල ලෙස මනමේ හා සිංහබාහු නාට්‍ය ද්වය ප‍්‍රමුඛ කොටගත් පේ‍්‍රමතෝ ජායතී ශොකෝ, මහාසාර සිට 1980 ගණන් අගභාගයේ නිපදවුණු බවකඩතුරාව දක්වා විහිද විකාශනය විය. එමෙන්ම සිංහල ගැමි නාටකය නම් වූ අග‍්‍ර ගන්‍ය පර්යේෂණ කෘතියද එකී පර්යේෂණයේම කොටසකි. ජපානයේ ප‍්‍රචලිත නාට්‍ය සම්ප‍්‍රදායන් හැදැරීම සඳහා වෙහෙසුණු සරච්චන්ද්‍රයන් එරටේි සමාජ ආධ්‍යත්මය මැනවින් හඳුනාගෙන ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ නැමති අසහාය නවකතා දෙක රචනා කළේය. මේ විශිෂ්ට කෘති දෙක මනුෂ්‍ය ස්වභාවයේ භාව භාව ලීලාවන්, ජීවිතයේ අභ්‍යන්තරික චින්තාවලින් මෙතරම් ග‍්‍රහණය කරගැනීමට සමත් වූ තවත් සිංහල සාහිත්‍යය කෘතියක් මෑත කාලයේ රචනා නොවිනැයි කියවේ. මතුනොව එතුමන් සිය පූර්ව මාතු භාර්යා වූ අයිලින් සරච්චන්ද්‍ර මහත්මිය සමග විවාහ වීමේදී, දායාද ලෙස ලැබුණු නිවස පවා විකුණා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට බැඳී ශාස්තී‍්‍රය සංගීතය උගත්තේය. එහෙයින්ම ඇතැම් මනමේ හා සිංහබාහු දර්ශනයක වාද්‍ය කණ්ඩායම් අතර සිට සිය සිතාරය වයන සරච්චන්ද්‍රයන් දැක ගැනීමේ පින - වාසනාව අපට තිබිණ.
පසුගිය සියවසේ මුල් භාගයේ පහළ මධ්‍යම පාංතික පවුලක ඉපිද දැවැන්ත කැපකිරීම් ඔස්සේ ලංකාවේ නාට්‍ය කලාව ප‍්‍රධාන වශයෙනුත්, සාහිත්‍යය දෙවනුවත් නගා සිටුවීමට ඔහු කැප කළ වෙහෙසේ තරම තේරුම් ගැනීමට එතුමන් විසින් රචිත ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් වූ ස්වයං ලිඛිත චරිතාපදානය ඔස්සේ පුළුවන.
දැන් අප අභිමුවෙහි සරච්චන්ද්‍රයන් නැත. ඇත්තේ ඔවුන්ගේ නිර්මාණ සමූහය, හා ඔහු අනුගමනය කළ සම්ප‍්‍රදායන්ගේ ආනුභාවය පමණි. කලා ක්ෂේත‍්‍රයට හා විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයට ගමන් තරුවක් වෙමින් ඔහු එකී ක්ෂේත‍්‍රයන්ට මග කියා දුන්නේය. කලා ක්ෂේත‍්‍රයන් අරබයා අනුහස පෑ කලාකරුවන් තිදෙනෙකු මා යෝජනා කරමි. ඒ අමරදේව, සරච්චන්ද්‍ර හා මාර්ටින් වික‍්‍රමසිංහයි.
සරච්චන්ද්‍රයන්ගේ මහා මෙහෙවරින් ආලෝක මත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එතුමන්ගේද එතුමන් වැනි සුධීමතුන්ගේද කැප කිරීම් නිසා ලොව හොඳම විශ්වවිද්‍යාල 200 අතරට එකළ එක්වුණි. එහෙත් එයාකාර මහා පුරුෂ සෙවනින් දුරස් වූ එකී විශ්වවිද්‍යාලයට අද එයාකාරයට ඒ ඉසව් කරා ළඟාවීමටවත් බැරි තරම්ය. 
කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එමගින් ලෝකය පිරිසිඳ දැකීමේ දැනුම ලබාගත් සද් ජනයන්ගේ එකමුතුවකි, කැනඩාවේ කි‍්‍රයාත්මක පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය. කැනඩා ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ පළමු වතාවට ශාස්තී‍්‍රය කාර්යයක් උදෙසා වන වැඩිම ධනයක් වියදම් කරමින්, විසි දෙකක් තරම් වන නළු නිළි කැලක් මේච්චල් කරන අභියෝගය දරා ගනිමින් මනමේ සහ සිංහබාහු නම් වූ දැවැන්ත නාට්‍ය ද්විත්වය එළඹෙන මැයි මස 10 හා 11 වන දෙදින ටොරොන්ටෝවේත් ඊට පසු දිනයන් හි කැනඩාවේ තවත් රඟහල්වලත් වේදිකාගත කිරීමට සැලසුම් කර ඇත.
මනමේ සහ සිංහබාහු, කැනඩාවේ රංග ගත කිරීමට, පේරාදෙණි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් දරන්නාවූ වෙහෙස අපි සැලකිය යුත්තේ සාමාන්‍ය ප‍්‍රසංගයක් ලංකාවේ කලා ශිල්පීන් ගෙන්වා පැවැත්වීමට වැඩි දෙයක් හැටියටය. මෙකී කටයුත්ත උදෙසා වන විශාල පිරිවැය උපයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සංවිධායකයන් නොදන්නවා නොවේ. එහෙත් එකී දැවැන්ත කාර්යයට තම සංවිධානය උරදීම තුළින් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරණ වටිනා අරමුණ වෙනුවෙන් සමාජයක් වශයෙන් අප බැතිබර විය යුතුය. සිංහලකම ගැන කටමැත දොඩවනවාට වඩා සිංහලකම සතු උදාර වටිනාකම් ගැබ්වුණු මනමේ, සිංහබාහු වැනි ජාතියක් සතු මහඟු කලාකෘති විශාල අවදානමක් දරමින් මෙරට සංවිධානය කිරීමට සිතීම ගැන පවා ගෞරවනීය ලෙස සිතා බැලීමට සමාජයක් වශයෙන් අප සූදානම් විය යුතුය. සිංහලයන් වශයෙන් අපට උද්දාම විය හැකි බොහෝ දේ ඇත්තේ සිංහල භාෂාව හා කලා ශිල්ප ඇසුරේය. එ්වා ඇසුරින් බිහිවුණු ඉහළම නිර්මාණ ද්වයක් ලෙස මනමේ සිංහබාහු හැඳින්විය හැකිය. මෙකී නාට්‍ය දෙකට පුළුල් පේ‍්‍රක්ෂක සහභාගිත්වයක් ලැබීම හෝ නොලැබීම මගින් ඔන්ටාරියෝ වාසි සිංහල ජන ප‍්‍රජාවගේ සංස්කෘතික සංවේදිතාව පිළිබඳ කිරා මැන බලා ගත හැකි වනු ඇත.