Tuesday 5 August 2014

ලෙන්දොර බිඳීම-යාත‍්‍රා 2014 අගෝස්තු කලාපයේ සංස්කාරක සටහන


          ලෝකය අධි තාක්ෂණික ලෝකයකට පරිවර්තනය වෙමින් පැවතීමත් සමග මේ සියවසේ අවසන් අඩ අපට ගතකරන්නට සිදුවනු ඇත්තේ නව පුරුෂාර්ථ හා නව ඇවතුම් පැවතුම් පද්ධතියක් සමග බව අනාගතය පිළිබඳ ගවේෂණය කරන්නන් කියයි. මීට වසර විස්සකට පමණ ඉහත විශ්ව ගම්මාන සංකල්පය පිළිබඳ අදහස සාකච්ඡුා වෙන්නට පටන් ගත් විට එය එසේ වන්නේ නැතැයිද, එසේ වේ නම් එයට එක හෙලා විරුද්ධ විය යුතු බවත් ජාතිකත්වයට පක්ෂපාතිව සිතූ අය පැවසූහ. එහෙත් අත තබා අවහිර කළ නොහැකි මහා බලවේගයක් ලෙස අද වන විට විශ්ව ගම්මාන සංකල්පය සැලකිය යුතු ප‍්‍රමාණයකින් එහි පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගෙන ඇත.
       අද ඔබ අතට පත්වන අති නවීන මෙවලමක් තවත් වසරකින් යල් පැනගිය එකක් වීම අදටත් යථාර්ථයක්ව පවතී. තාක්ෂණය මිත්‍යාවක් නොව සැබෑවකි. එහෙයින් තාක්ෂණයේ ජයග‍්‍රහණය යනු ද සැබෑවකි.
ලෝකයේ සර්ව සම්පූර්ණ දැනුම එකම රටක ගබඩා වී ඇතැයි යන්න එකළ අප සිතූ දෙයකි. එහෙත් එහි ඇත්තේ අර්ධ සත්‍යයකි. කාලයක් මුලූල්ලේ සිය ජීවිතය පහසු කර ගැනීම සඳහා  කළ අරගලයේ දී මිනිසා අවශ්‍ය දෑ අවශ්‍ය හැඩතලයන්ගෙන් හා ගුණයන්ගෙන් යුතුව නිෂ්පාදනය කෙරිණි. ලෝකයේ සියලූ ඝර්මකලාපීය රටවල මූලික නිවාස, ආහාර පාන හා අනෙකුත් කටයුතුවල සමාන කම් උදාහරණයක් සේ ගෙන බලන්න. එ් එකම දේශගුණයක සහිත නන්විධ දේශයන්හි වුවත් ජීවත්වීමේදී සමානරූපී අරගලයක් කරන්නට සිදුවීම නිසාය. ඒ අරගලයම දැනුම හා සංස්කෘතිය නිර්මාණය කළේය. එහෙයින් කාටත් තමන්ගේම වූ දැනුමක් තිබිණි.
        පොල් පිත්තකට පොල්කටු තීරුවක් සවිකොට ලණුවකින් බැඳගෙන හරකෙක් නිපදවාගත් ළමා වියක් අතීතයේ තිබිණි.  පොල්කටුව හා වැලි භාවිතයෙන් කෝම්පිට්ටු ඉවු හා ඒ පිළිබඳ කවි ගී කියූ ළමාවියක් ද තිබිණ. එහෙත් අද ළමයින්ට ඒවා ඉතිහාසගත කාරණා පමණි.  අද ළමයාට ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු තිබේ. කෙනෙකු මේ සියල්ල හැරදා තමා අත් විඳි අතීතයම තම දරු මුණුපුරන්ට ලබාදෙන්නට උත්සාහ කරනවා නම් එ් උත්සාහයම විශාල ඛේදවාචකයකට පාර කපනවා නිසැකය.
           විද්‍යාවේ ජයග‍්‍රහණයන් විශාල තාර්කික ලෝකයක් නිර්මාණය කර ඇත. එ් යථාර්ථය පිළි නොගන්නා කෙනෙකුට මේ ලෝකයේ ජීවත්වීම බෙහෙවින් අපහසුය. එහෙයින් පළමුවෙන් කළ යුත්තේ ඇතිවී ඇති නව ලෝකයේ සොයා ගැනීම්වලට එරෙහිවීමට පෙර ඒවා කවරාකාරදැයි විමසා බැලීමයි.
            ශී‍්‍ර ලංකාව වැනි අසමමිතික සංවර්ධනයක් ඇති රටක සිට සමමිතික හා ප‍්‍රගතිගාමි සංවර්ධනයක් ඇති රටකට පැමිණ පදිංචි වී සිටින අප පළමුව කළ යුත්තේ නව දේශයේ සමස්ථ ගති සොබාවම තේරුම් ගැනීමයි. දැනට අපි සොයා බැලීමක් කරන්නේ රැුකියාවක් සොයා ගන්නේ කෙසේද? ගෙයක් මිලදී ගන්නේ කෙසේද? ක්‍රෙඩිට් රේට්ටුව වැඩි කර ගන්නේ කෙසේද? ආදි අති මූලික කාරණා ගණනාවක් ගැන පමණකි.
එහෙත් වැඩිහිටියෙකු ලෙස කැනඩාවට පැමිණි ඔබට ලංකාවෙන් ගෙන ආ බොහෝ ඇවතුම් පැවතුම්, ආගමික චාරිත‍්‍ර වාරිත‍්‍ර තිබේ. යාළුමිත‍්‍රයන් සිටියි. එහෙත් මෙහෙ ඉපදුනු හා ඉතා කුඩා වියේදී මෙරටට ගෙන ආ ඔබේ දරුවා ලෝකය දැන හඳුනා ගන්නේ මෙරට සමාජයේ යථාර්ථයන්ට ගැළපෙන පරිදිය. ඔහු අවට සැරිසරන්නේ, ඔබේ අවට සැරිසැරූ යාළුවන්, ගුරුවරුන් නොවේ. නන් විධ ජාතින්ට අයත් යහලූවන් සමග ඔහු සමාජයේ සැරිසරයි. ඔහුට  පංතියේ කියා දෙන්නේ වර්ණය හා ජාතිය සඳහන් කරමින් මිතුරන් හඳුනා නොගන්නා ලෙසයි. එහෙයින් දරුවෝ කුඩා කළ සිටම වර්ණය හා ජාතියට විශේෂත්වයක් දැක්වීම ඇවතක් සේ දකිති. රටවල් 174 කට අයත් ජාතින් වෙසෙන මෙම රට, ඒ සියලූ ජාතින්ගේ දක්ෂතා එක මිටකට ගෙන සංවර්ධනය අතින් ලෝක බලවතකු  වීමට උත්සාහ දරමින් සිටී. එක් ආකාරයකින් එය සාර්ථකවද තිබේ. අපගේ ශි‍්‍ර ලාංකික අත්දැකීම් නම් ඊට හාත්පසින්ම වෙනස්ය. රටේ සංවර්ධනය හා රටේ අනාගතයට වඩා තමන්ගේ ජාති කුල මල ගෝත‍්‍ර ඊට වඩා වැදගත්ය. තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරගෙන අපි එ් අවුරුදු තිහ පුරා නොමැරී මැරුණෙමු. දැන් ඊනියා මුස්ලිම් අන්තවාදයක් නිර්මාණය කර ගෙන එ් ඊනියා හතුරාට එරෙහිව විනාශයකට අත වනමින් සිටී. ඒ අපේ හැටිය. එහෙත් එ් ‘අපේ හැටි’ යනු ස්වයං විනාශයකට තවත් නමකි.
කැනඩාවට ස්ථිර පදිංචියට ආ බොහොමයක් මෙහි පැමිණ ඇත්තේ තමන්ගේ නොව ස්වකීය දරුවන්ගේ අභිවෘද්ධිය සලකාගෙනය. එහි දෙවන හා මතුපිටින් නොකියවෙන අදහස නම් තමන්ද පුරවැසියන් වූ තම මව් රට තම දරුවන්ගේ අනාගතය උදෙසා හොඳ තැනක් නොවන බවයි. එහෙත් ඇත්තනම් එ් නරක තත්ත්වය නිර්මාණය කර ගැනීමට සමාජ සත්වයකු ලෙස ඔබද දායක වී ඇති බවයි. ඔබගේ ජාතිකවාදී, කුලවාදී, ආගම්වාදී, ගෝත‍්‍රුවාදී (තමන්ගේ කුලයකට අයත් සියල්ල අන් සියල්ලට වඩා උසස් යයි සිතමින් සංවිධානය වීම උදා. පාසල්,  වෘත්තිය, ප‍්‍රදේශය ආදී වශයෙන්* ආකල්ප ඔබටම රට හැරදා එන්නට තරම් නරක රටක් ඔබත් දායකවී නිර්මාණය කළ බවයි.  රට පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ වේවා, රනිල් වික‍්‍රමසිංහ වේවා, මර්වින් සිල්වා වේවා ඔවුන්ගේ නායකත්වයට අයත් දුර්ගුණ රටේ පුරවැසියන්ගේ සාමූහික චින්තනයේද කොටසකි.
          ඇත්තටම අද වැඩිහිටි අපට ඉගෙන ගන්නට බොහෝ දේ අපගේ දරුවන් සතුව ඇත. රටක් විනාශ මුඛයට ඇද දමන්නට තරම් කුරිරුවූ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය  ඔවුන් සතුව නැත. ඔවුන් සතුව ඇති පරිකල්පන ලෝකය ගොඩ නැඟී ඇත්තේ මනුෂ්‍යත්වය වටාය. ඔවුන් මිතුරන් තෝරාගන්නේ මිතුරෙකු ලෙස ඇසුරකට සුදුසුද යන කාරණය මත පිහිටා මිස ඔහුගේ කුලය ජාති ආගම් දුප්පත් පොහොසත්කම් මත පිහිටා නොවේ. ඔහු පෙම්වතියක් තෝරා ගන්නේ ආදරයේ සරල මූලික කාරණාවට අවශ්‍යතා සැපිරූ පෙම්වතියක් මිස වර්ණය ජාතිය බලා නොවේ.
         අප මූලින් සාකච්ඡුා කළ ආකාරයට විශ්වගම්මානයක් හරහා ලෝකය යා කිරීමේදී නිසග වශයෙන්ම ගොඩ නැගෙන්නේ භූගෝලීය වපසරියක් තුළ කි‍්‍රයාත්මක  ඇතැම් අනන්‍යතා වෙනුවට මනුෂ්‍යත්වයට හා ඉදිරිගාමිත්වයට පොදු අනන්‍යතාවන්ය. අප කලින් කීවාක් මෙන් විද්‍යාව හා එ් ආසි‍්‍රත දියුණුවේ හාස්කම් හා ඉදිරි පිමි අපට අත තබා වැළැක්විය නොහැකිය.  එහෙයින් පවතින වටිනා හා අවශ්‍ය දේවල් ඉතිරිවන අතර අනෙක්වා ක්ෂය වනු ඇත. ආතර් සී ක්ලාක් කියා ඇති පරිදි ලෝකයේ අනාගතයේ ඉතිරිවන එක දෙයක් වන්නේ බුදු සමයේ සාර දර්ශනයයි. සමහර විට එය බුදු සමය නමින් නොවිය හැකිය. බුදු සමයේ සාර දර්ශනයට ඉතිරිවිය හැක්කේ මිනිසාගේ තර්ක බුද්ධියට හා විමර්ෂණශීලී සුලූ බවට බුදු සමය ගැලපී යන නිසා විය හැකිය.
         ලාංකික දරුවන්ගේ අනෙකුත් බොහෝ ජාතින්ට නැති විශේෂතාවක් ඇත. එ් ඉතාමත් වෙහෙස මහන්සිවී ඉගෙනීමට ඇති දක්ෂතාවයි.  එ් තත්ත්වයට මෙහෙයවීමට දෙමාපියන්ටද පෙරහුරුවක් ඇත. ලංකාවේ ඇති විභාග තරගය හරහා දරුවෝ ළමාකමට නොවන තරම් මහන්සියක් අධ්‍යාපන කඩඉම් ජය ගැනීමට වැය කරති. ඒ දුෂ්කර හැකියාව මෙහිදී ඉතා ප‍්‍රයෝජනවත් වී ඇති බවක් පෙනේ. අධ්‍යාපනයේදී එ් හැකියාව මේ සමාජයේ ඓන්ද්‍රීය හා පෞරුෂයෙන් පිරි කොටසක් කිරීමට දෙමව්පියන් ගේ මැදිහත්වීමද වැදගත්වේ.
         මේ ලිපිය ආරම්භයේ දී අප සඳහන් කළ ආකාරයට මේ සියවසේ දෙවන අඩ, නව පුරුෂාර්ථ හා නව වටිනාකම් සහිත වෙනස්ම ලෝකයක් වනු ඇත. ඒ ලෝකය යනු, අපට නොව අපගේ දරුවන් වැඩිහිටියන්ව ජීවත් වන අවධියකි. එ් අවධියේ ඔවුන් පෞරුෂයෙන් යුතු විකුම් පෑ හැකි මිනිසුන් පිරිසක්  කිරීමේ  අඩිතාලම දමා ගැනීමට අප අද අදම ඔවුනට සහය විය යුතුය. එ් සඳහා අපේ දේ කියා හැමදේම ඔවුන්ට ගිල්ලවීමට වඩා  යට කී අනාගත දෘෂ්ටියෙන් බලා සුදුසු දේ පමණක් ලබාදීම අතිශය වැදගත්ය.

                                                                              සංස්කාරක

1 comment:

  1. Τhe grаtitude of every home in our Island, in our Empire, and indeed throughout thе
    world, except in the abodes of the guilty, goes out to
    the British аirmen who, undaunted by odds, unwearied in their constant
    challenge and mortal danger, are turning the tide of the world war by their prowess ɑnd
    by their dеvotion. Never in the field of human conflict was so much owed by so many to so few.


    my weblog - scientology

    ReplyDelete