Wednesday 27 January 2016

සිංහ - ලේ




              2000 වසරට අප පා නගන විට මා සේවය කළේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේය. ඊට සමාන්තරව ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයටද මාගේ සේවය ලබා දුන්නේ එකළ ජාතීන් අතර සංහිඳියාව නංවාලීමේ වැඩ පිළිවෙළක් රාජ්‍ය අනුග‍්‍රහයෙන් දියත් වූ නිසාය.
            මේ කාලයේ මෙකී අමාත්‍යාංශ දෙකම එළඹෙන සහස‍්‍රකය පිළිගැනීමට විවිධාකාර වැඩ සටහන් දියත් කළේය. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ මහා ප‍්‍රදර්ශනයකි. දේශපාලකයන් බහුතරයකගේ මුවින් පිටවූයේත් 21 වන සියවසේ දී නූතන විද්‍යාව වඩා ලංකර ගනිමින් සංවර්ධනයේ යෝධ පිමි පනින ආකාරය ගැනය. මාධ්‍යයද හරි හරියට එවැනි බලාපොරොත්තු මහජනයා හමුවේ තැබීය.
              මහනුවර කේන්ද්‍ර කරගත් ‘මිලේනියම් ආට්’ වැනි නමක් ඇති සංවිධානයක් තරුණයන් පිරිසක් විසින් පිහිටුවා ගත් අතර එයට මගේ ද සහය ලබා දුන්නෙමි. එහිදී සාකච්ඡුා කෙරුණේ 21 වන සියවසේ ජාතිවාදය වැනි අගතීන්ගෙන් තොර කලාවක් නිර්මාණය කර ගැනීම ආදී කාරණාවන් ගැනය.
               කෙටියෙන් කිවහොත් සමස්ත රටම එළඹෙන සහස‍්‍රකය තුළ විද්‍යාවේ හා නූතනත්වයේ යුගයක් මැවෙන අයුරු බලාපොරොත්තු දල්වාගෙන සිටියේය. එහෙත් ඉන් වසර පහළොවකට පසුව සිදුවී ඇත්තේ කුමක්ද?
             රස්තියාදුකාර ජාතිවාදයක් මුළු මහත් ජාතියම වෙලාගෙන ජාතියක් සතු සියලූ පුරුෂාර්ථ බිඳ හෙලමින් පවතී. අවාසනාව වන්නේ ඒ රැුල්ලේ මුලින්ම සිටින්නේත් ගිනි අවුලූවන සේව නූල් ඇත්තේත් අන්ත ජාතිවාදී නූගත් භික්ෂූන් සුළු පිරිසක් හා ජාතිය දඩමීමා කර ගනිමින් බලයට ඒමට කැස කවන දේශපාලකයන් පිරිසක් අතය.ඒ පිරිස් දියත් කර ඇති අලූත්ම භ‍්‍රෂ්ට කි‍්‍රයාව නම් ‘සිංහ ලේ’ නමින් ස්ටිකර් අලවමින් හා බිත්ති තාප්පවල ලියමින් ඒවා කැත කිරීමයි. මේවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අයත් අදහස් ප‍්‍රකාශ කිරීමේ වපසරියට අයත් දෙයක් නොව මිනිසුන් භීතියට පත්කරන දඬුවම් දිය යුතු වරදකි. අවාසනාව වන්නේ ආණ්ඩුව අනවශ්‍ය තරම් නෝන්ජල්ව මේ සියල්ල ඉවසා ගෙන සිටීමයි.
               මේ නම් සැබෑම මූලධර්ම වාදයයි. ඉන් ගොඩ නොආවොත් අපට ශ්‍රේෂ්ටත්වයේ නටබන්වත් සොයා ගැනීමට නොහැකිවනු ඇත.මේ කොළම ලියන අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා 2015 ට අදාළ සංඛ්‍යාලේඛන ප‍්‍රමාණයක් ඉදිරිපත් කළේය. ඒ මෙසේය. මිනිස් ඝාතන සංඛ්‍යාව 548 කි. ස්තී‍්‍ර ¥ෂණ සංඛ්‍යාව 2334 කි. රාජවංශික දරුවෝ එක්ව කළ තාජුඞීන් ඝාතනයවත්, උන්ගේ මහ එවුන් සිදුකළ  එක්නැලිගොඩ ඝාතනයවත් මේ සංඛ්‍යා ලේඛනවලට අයත් නොවන්නේ ඒවා සිදු වූයේ ඊට පෙර වසරවලදී නිසාය.
              දේශපාලකයෝ අවම වශයෙන් පෙනුමට හෝ නීතියට යුක්තියට ගරු කළ යුතුය. නීතිය කි‍්‍රයාත්මක වීමට අදාළව නිර්වචන සැපයීම අධිකරණ කටයුත්තක් සේ සලකා ඒ කි‍්‍රයා දාමයට ගරු කළ යුතුය. එහෙත් මූල්‍ය වංචා පිළිබඳ සැකපිට අත් අඩංගුවට පත් වී සිටින හිටපු විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවාත්, එක්නැලිගොඩ ඝාතනයට සැකපිට අත් අඩංගුවට පත්ව ඇති හමුදා බුද්ධි අංශ නිලධාරියාත් බැලීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිලද, ගියේ සැකකරුවන්ගේ නිදොස් බව ඔවුන් කලින්ම තීරණය කර ඇති නිසා විය හැකිය. ඔවුන් දෙදෙනා සිය දේශපාලන පැවැත්ම සඳහා එවැනි දෑ කිරීම අප කලක් තිස්සේ දැක ඇති දෙයකි. ඔවුන් දෙන්නා පස්සේ වැටී ඇත්තටමත් නීති විශාරදයකු වන මහාචාර්ය ජි.ඇල්. පීරිස් ද යාම මේ රටේ දේශපාලකයන් බුද්ධිමතුන් වුවද ඔවුන් වැටී ඇති නරාවලේ තරම කියාපායි. මේ සිංහ ලේ ඇත්තන්ගේ පැටිකිරියේ හැටිය.
                 සිංහයා තිරිසනෙකි. ඔහු අනෙක් වනසතුන් සමග තමා අවට පරිසරය බෙදා හදා ගැනීමට අසමත් වර්ගයේ තිරිසනෙකි. එමෙන්ම සතුන් අතර කම්මැලියන්ගෙත් කම්මැලියා සිංහයායි. ඔහුගේ තිරිසන් ලේ අප ජාතියට ඇත්තටම තිබේදැයි සිතෙන්නේ රුවන් ගුණසේකර කියන අපරාධ හා මිනීමැරුම්වල සංඛ්‍යා ලේඛන විමසන විටය.
                නිදහසින් පසු අතීත පාලන වකවානු  සියල්ලම ගත් කළ ජාතිවාදි ව්‍යාපාර ආණ්ඩුව විසින් දැනුවත්ව නඩත්තු කළේ රාජපක්ෂ රෙජීමය පමණකි. ඒවාට නීතිය ඉක්මවා යන්නට ඉඩ දුන්නේය. දර්ගා නගරයේ මහා විනාශයට පාදක වූ බොදුබල සේනා නියමුවන්ට නීතිය හමුවේ වරදක් එල්ල නොවිණි. අනුන්ගේ රැුස්වීම්වලට කඩා වැදී ඔවුන් කළ කි‍්‍රයාවලටද දඬුවමක් නොවිණි. ඒවා විමර්ශනය කිරීම අදටත් සිදු නොවේ.
              බහු වාර්ගික සමාජයක ඒ රට ජාත භූමිය කරගත් සකල විධ ජාතින්ගේ ලෙංගතුකම උපන් රටට ලබා ගැනීමට අසමත් වෙතොත් සංවර්ධනයේ ඇනහිටීම්, අහිතකර විදේශ මැදිහත්වීම් හා සිවිල් යුද්ධ අනිවාර්ය වේ. බණ්ඩාරනායක මෙන්ම පනස් වසරකට පසු බලයට පත් ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂත් මේ සරල සත්‍යය නොදන්නවා විය නොහැකිය. බණ්ඩාරනායකට බලය පිළිබඳ කාරණයත්, ඔහුගේ පශ්චාත් කාලීන අනුප‍්‍රාප්තිකයාට බලය හා බලය අවට බොහෝ දේත් ස්වසන්ථකයට ගැනීමේ අරමුණින් මේ ජාතිවාදය ඇවිස්සුවේය.
              ජාතිවාදය පිළිබඳ දැල් පටෙහි අවංක සිතින් වෙළෙන්නෝ ආකාර ගණනාවක හීන මානයන්ගෙන් පෙළෙන්නෝය. දැනුම පිළිබඳව ඇති හිමිකමේ සංසංදනාත්මක අඩුව, තම පුද්ගල පෞරුෂය පිළිබඳ ඇති කර ගත් සැකය, තමාගේ අභිවෘද්ධියට තවෙකකු බාධා කරන්නේය යන අනාරක්ෂිත ආකල්පය, පවත්නා සමාජ වටාපිටාවේ අනෙකුන් හා සැසඳීමේදී තමාගේ සම්භවයේ ඊනියා අඩුවක් ඇතැයි යන අදහස (රසල් බ‍්‍රවුන් කියන්නේ එවැන්නෝ තමාගේ ආසන්න වාර්ගිකත්වය අතහැර තමාගේ වටපිටාවේ සිටින තමාට ඉහළ ආසන්නතම හතුරා යයි උපකල්පනය කරන්නා ද ඇතුළත් පොදු වර්ගයාගේ ආරක්ෂාවට පෙනී සිටින බව හඟවන බවයි. සැබැවින්ම ඔහුගේ නිදන්ගත වෛරය ඇත්තේ ඒ පිටස්තර වර්ගයා සමග නොව තමාට ආසන්න එහෙත් තමාට ඉහළින් සිටින තැනැත්තා සමගය. * රූපයෙන් හැකියාවන්ගෙන් තමන් අනෙකුන්ට වඩා පහළින් සිටින්නේය යන ආකල්පය, තමාට හා තමා ඇතුළත් වර්ගයා ආරක්ෂා කිරීමේ ශුද්ධ වූ වරමක් ඇත යන ආකල්පය, ආදී තව ඊට ආසන්න බොහෝ හේතු ගණනාවක් අනුසාරයෙනිි.
            ලංකාවේ ජාතික ඒකාග‍්‍රතාව බිඳ වැටීම සමාජය වෙලා පටලා ගත් හීනමානයක ප‍්‍රතිඵලයකි. ලංකාවට උපසම්පදාව ගෙන ඒමට අනුග‍්‍රහය සැපයූ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ ඉල්ලීමට අවනතව උපසම්පදාව ගොවි කුලයට සීමා කිරීමේ අනුවණ, බෞද්ධ විරෝධී තීරණය වැලිවිට සරණංකර හිමිපාණන් විසින් ගත් අවස්ථාවේ සිට අනෙකුත් කුල භික්ෂූන් වහන්සේලා පමණක් නොව සුදු පාලකයන්ගේ ආණ්ඩු ඇසුරෙන් ධනවත් හා බලවත් වූ කුල නායකයෝ ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්‍යයේ හිමිකාරිත්වය තමන් වෙතට ගැනීමට වලි කෑහ. ඒ නොනිමි අරගලයේ අශෝභන ඉම් පෙදෙස් බොහෝ ගණනකි. මෙත්තානන්දලා, ඒ.ඇම්.පී. රාජරත්නලා ගේ සිට බොදුබල සේනා, රාවණා බලය හරහා සිංහ-ලේ පච්චකරුවා දක්වා සමාජය හැඩ ගැසුණේ මෙකී හීනමාන එකක් හෝ වැඩිගණනක් ඇසුරේය.


Saturday 16 January 2016

නීල පට නිකායෙන් පසු...


         
මීට හැට වසරකට පමණ පෙර අපේ ගම් පළාත්වල නිරුවත හරි හැටි නොවැසූ තාපසයන් යයි කියා ගන්නා පිරිසක් කැලෑ රොදවල් ආශි‍්‍රතව ජීවත් වූ බව ළමා වියේ දී අපි අසා ඇත්තෙමු. ඔවුන් භාවනා කරමින් සිටි බවත්, ගව මුත‍්‍ර පානය කළ බවත්, කියවේ. නිරුවතත්, ගව මූත‍්‍ර පානයත් නිසා ගම්මුන්ගේ සැලකිල්ලක් නොලද එකී පිරිස අපේ ගම්මානයන්ගෙන් පසුබැස අතුරුදන්ව ගියෝය. මේ පිරිස හඳුන්වා ඇත්තේ ‘නීල පට නිකාය’ නමිනි.
          මේ කථාව හා ඔවුන් පිළිබඳ වැඩි විස්තර මා අසා ඇත්තේ අප ළමා අවධියේ දී  අපේ නිවසට පැමිණ අපේ අම්මා සමග සතුටු සාමීචි කතා කරමින් සිටින ‘කොල්ලෙ අම්මා’ නම් මාතාවකගෙනි. එකළ අපේ අම්මාට වඩා දෙගුණයක් පමණ වයසැති ඈ අපට හිතාගන්නටවත් බැරි අතීතයක තොරතුරු රසකර කියන්නී ය. ‘කොල්ලෙ අම්මා’ අපේ ගමේ ඊනියා පහත් යයි සම්මත කුලයකට අයත් කාන්තාවකි. ‘එමෙන්ම ඈ සිය උඩුකය නොවැසූවාය. එසේ උඩු කය නොවැසූ කාන්තාවෝ දෙතුන් දෙනෙක්ම අපේ ගමේ වාසය කළා අපට තවමත් මතකය. ඔවුන් සියල්ලෝම පාහේ යට කී ඊනියා පහත් කුලයට අයත් ඇත්තියෝය. මේ ඇතිතියෝ සියල්ලම අසූව දශකය දෑසින් දකින්නට පෙර මිය පරලොව ගියෝය. අප විසින් ඔවුන් දැන හඳුනා ගන්නා විටත් මැහැලියන් වූ ඔවුන්ගේ උඩුකය නිරුවතේ එල්ලා වැටුණු ලොට තන ශෘංගාරකාරක නොවීය.
‘නීල පට කාරයන්ගේ’ පිරිමි නිරුවතත්, ‘කොල්ලෙ අම්මා’ වැනි උපාසිකාවන්ගේ ගෑනු නිරුවතත් දුටු අපේ වැඩිහිටියෝ ඒවා එතරම් ප‍්‍රශ්නයක් කර නොගනිමින් තමන් සතු චාරිත‍්‍ර වාරිත‍්‍ර රකිමින් දැහැමෙන් සෙමෙන් දිවි සැරිය ගෙවා දැමූහ.
         උඩුකය වැසීම එකළ ප‍්‍රභූ කාන්තාවන්ට පමණක් හිමි වරප‍්‍රසාදයක් විය. තමන්ගේ සිරුර පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පමණක්  නොව එකළ පිරිමිනට පවා ‘බත් මුඛය පාදා ගැනීමටත්’ රජුගෙන් අවසරයක් ගත යුතුව තිබුණේය. ‘බත් මුඛය පාදා ගැනීම’ යනු රැුවුල කපා ගැනීම යි. රජු ද ඇතුලත්ව ප‍්‍රභූ පැලැන්තික පිරිමි  දිළිඳු ගැමි ගැහැණුන්ගේ, සස්වාමික, අස්වාමික, බවවත් නොසලකා තමන්ගේ කැමැත්තට අනුකූලව ඔවුන්ව පරිහරණය කළෝය. එය සමාජ සම්ප‍්‍රදායක් වීම නිසාදෝ ඒ ගොදුරු වන ගැහැණුන්ගෙන්වත්, ඒ ගැහැණුන්ගේ හිමිකාරිත්වය දැරූ පිරිමින්ගෙන්වත් එල්ල වූ සැලකිය යුතු විරෝධයන් ගැන ඉතිහාස පොත්වලවත්, ජනකතා සාහිත්‍යයේවත් දක්නට නැත.
        ගැහැණුන්ගේ බලවත් ශෘංගාරකාරක අංගය ඔවුන්ගේ පයෝධර සහිත උඩුකයයි. තොටගමුවේ රාහුල වැනි යතිවරයන් පවා ‘රණ තිසරු’ ‘හංස ධේනු‘ ආදී විශේෂණ පද යොදා වර්ණනා කළේ මේ උඩුකයේ දර්ශනයයි. මදක් විමර්ශණශීලීව ගැඹුරට සිතා බලන විට ගැහැණුන්ට උඩුකය වැසීමට තැනූ ඉතිහාසගත තහංචිය වනාහි සිංහල සමාජයේ ප‍්‍රභූ පිරිමින්ට අනුව සිදුවූවක් බව සිතා ගැනීම අපහසු නොවේ.
මහනුවර රජකළ දෙවන රාජසිංහ රජතුමා වෙස් වළාගෙන රට තුළ නිතර නිතර සංචාරයේ යෙදුණු නිර්භීත පුරුෂයෙකු යයි ඉතිහාසයේත්, ජනකතා සාහිත්‍යයේත් සඳහන් වේ. ඔහු පාලකයෙකු ලෙස තමන් පාලනය කරන රට පිළිබඳ යථාරූපී වටහා ගැනීමක් සඳහා ඒ ගමන් බිමන් උපයෝගී කර ගත්තා සේම, සස්වාමික හෝ අස්වාමික හෝ රූමත් ළඳුන් තම අන්තඃපුරයට එකතු කර ගැනීමටත් ඒ සංචාරයන්ම ඔහු විසින් යොදා ගත්තේය. මේ පිළිබඳ අපූරු විස්තරයක් ඞී.පි. වික‍්‍රමසිංහ මහතා පළ කළ ‘මග දිගට ජනකතා’ කෘතියේ දක්වා ඇත.
        සෙනරත් රජතුමා සිංහල රාජාවලියේ මහනුවර රාජධානිය කරගත් දෙවන රජතුමාය. ඊට පෙර රජකම් කළ 1 වන විමලධර්ම සූරිය රජතුමා සෙනරත් රජුගේ වැඩිමහල් සොහොයුරාය. ඔහු රජකම් කළේ කි‍්‍ර.ව. 1604 -1635 අතර තිස් අවුරුද්ද තුළය. සෙනරත් රජතුමා රජවීමට ප‍්‍රථම මහණදම් පිරූ පැවිද්දෙකු ද විය. පසුව විමලධර්මසූරිය රජුගේ අභාවයත් සමග ඇති වූ රාජ්‍යත්වය පිළිබඳ අර්බුද සමනය කිරීම සඳහා සිවුරු හැර පැමිණ රජකමට පත් වූ බව කියැවේ. ඔහු රාජ්‍යත්වය තහවුරු කර ගැනීම සඳහා විමලධර්ම සූරිය රජුගේ අභාවයෙන් වැන්දඹුවක වූ කුසුමාසන දේවී නොහොත් දෝන කතිරිනා බිසව විවාහ කර ගත්තා පමණක් නොව, ඇගේ කලින් විවාහයේ දියණිය ද අඹුකමට පාවා ගත්තේය. මේ සියොළඟ කිලිපොලා යන කි‍්‍රයාව පිළිබඳ කතාන්තරය නාට්‍යාකාරව කේ.බි. හේරත් ශූරීන් නිෂ්පාදනය කළ ‘දෝන කතිරිනා’ නාට්‍යයේ මනාව දැක්වේ.
           අපේ රටේ මාතෘත්වයට යම් අගයක් තිබුණා වුවත් ස්ති‍්‍රත්වය පිළිබඳව තිබුණේ ශිෂ්ට සමාජයකට නොවටිනා තරම් අඩු අගයකි. ස්ති‍්‍ර උඩුකය නොවැසුණේ ස්ත‍්‍රීන් ගේ උවමනාවට නොව පිරිමි ප‍්‍රභූන්ගේ අභිප‍්‍රායට අනුකූලවය.
             තම සිරුරේ හිමිකම තමන් වෙත ලබා ගැනීම, අපරදිග ලෝකයේ සිදුවූ දේශපාලන අරගලයේම කොටසක් විය. සැබවින්ම ඒ අරගලය ඈඳී තිබුණේ ලිබරල් නිදහස අරබයා වූ  අරගලය සමගය.
යටත් විජිතකරණයත්  සමග මුහුදු බඩ තීරුවේ විසූ ගැහැණුන්ට එක්තරා ආකාරයක විමුක්තියක්, යටත් විජිතකරණයට ලක් නොවූ ප‍්‍රදේශවල ස්ති‍්‍රන්ට සාපේක්ෂව ලැබුණි. උඩරට හෝ සබරගමු ස්ති‍්‍රයට පෙරාතුව මුහුදුබඩ වාසී ස්ති‍්‍රයට උඩුකය ආවරණය සඳහා අවස්ථාව  ලැබුණි.
          විවිධ වෛවාහික සම්මතයන් තිබුණත්, ස්ති‍්‍රයගේ අයිතීන් යම් තරමකට හෝ රැුකෙන විවාහ නීතියක් ලංකාවට ගෙනාවේ ඉංගී‍්‍රසීන් විසිනි. එතෙක් දේපල පිට යෑම  වළක්වා ගැනීමට එක ස්ති‍්‍රයක සහෝදරයන් කිහිප දෙනෙකුට ආවාහ කර දෙන  අමානුෂික සිරිතක් එක්දහස් නවසිය විසි තිස් ගණන් දක්වාම උඩරට පළාත්වල පැවතිණි. මෙය හැඳින්වුනේ එක ගෙයි කෑම නමිනි. ස්ති‍්‍රයකගේ පේ‍්‍රමාන්විත සිතුම් පැතුම් තුට්ටුවකට නොසැලකූ හා ආදරයේ චිරාගත සිද්ධාන්තයන් මායිම් නොකළ ඒ අතීතය ශ්‍රේෂ්ට වන්නේ කෙසේදැයි මට නම් ප‍්‍රශ්නයකි.
          ශ්‍රේෂ්ඨත්වය මනින්නේ කලා ශිල්ප ඇතුලූ අනෙකුත් ජයග‍්‍රහණයන් ඇසුරෙන් නම් සැබැවින්ම හඳුනාගත හැකි ශ්‍රේෂ්ටත්වයක් අපට තිබේ. විශේෂයෙන් අප සතු සිංහල භාෂාවේ ඇති පරිපූර්ණත්වය, වාපි ඉංජිනේරු ශිල්පය, චිත‍්‍ර කලාව, ගොඩනැගිලි තාක්ෂණය, පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ආදිය ඒ උරුමයේ කොටස්ය. එහෙත් ඒ සියල්ල අතරේ මිනිසා, විශේෂයෙන් ස්ති‍්‍රය පිරිහෙලා තිබුණු අශිෂ්ට තැන විසින්  ඒ ශ්‍රේෂ්ටත්වය කෙලසා දමයි.
           යටත් විජිතකරණය හරහා පැමිණි, බටහිර පුනරුදයේ ආශ්වාදය නොවන්නට තවමත් රජුගේ සිට ගම්පතියා දක්වා වූ ප‍්‍රභූන්ට බිලිවන්නා වූ ගැහැණුන්, ගැහැනු ළමුන්, උඩුකය නොවැසූ ස්ති‍්‍ර පුරුෂයන් අපට දැක බලා ගත හැකිව තිබිණ. ඒ තත්වයන්ගේ ගොදුරු බවට පත් ගැහැණුන් හා මිනිසුන්ගේ සෝක සංතාපයන් අපට මුණ ගැසෙනු ඇත. එවන් කාළකණ්ණි ශ්‍රේෂ්ටත්වයක් රටකට කුමකට ද?
           උඩුකය වැසීමේ වරම යටත් විජිතකරණය ඔස්සේ අප වෙත ලැබුණත්, හැට්ටයට ඇතුලෙන් අඳින, ‘එන්රිකේ ඉග්ලිසියස්’ ගායකයාට ගලවා විසිකරන ලද්දා වූ වර්ගයේ බ්‍රෙසියරයේ ඉතිහාසය අවුරුදු තිස් පහකට හතළිහකට වඩා නැත. ඊට පෙර නාගරික ප‍්‍රභූ කාන්තාවන් කෙසේ වෙතත්, ගැමි කාන්තාවන් හැට්ටය පමණක් ඇඳි අතර ඇතමුන් තනිපාට රෙද්දකින් අතින් මසා ගත් බ්‍රෙසියර් ඇන්දේ ගමනක් බිමනක් යන විටය. එකළ සමාජයේ ඒ පෙනුමක් නැති කපු රෙද්දෙන් මැසූ බ්‍රෙසියර්, රෙදි වැලේ වනා ඇති විට හොරකම් කරන්නට සැදී පැහැදුනු උන්මත්තක පිරිමි ද ගම් ගොඩැලිවලවත් ‘සමනල සංද්වනිය’ චිත‍්‍රපටයේ මෙන් නගරයේවත් සිටියේ නැත.
         වර්තමානයේ ලෝකය පුරා හමන නිදහස් රැුල්ලට අනුකූලව, ස්වකීය පුද්ගල නිදහස, පවත්නා දේශපාලන අරගලයේම කොටසක් වෙමින් පවතී. අද ලෝකයේ එන්න එන්නම අනාගමික සෙනග වැඩිවෙමින් පවතී.  එහෙයින් වර්තමාන ආත්මික ජීවිතය අර්ථයෙන් පුරවාලීමට මිනිසුන් උත්සුක වෙයි. ඒ අර්ථයට ස්ති‍්‍රන්ට හා පුරුෂයන්ට ස්වකීය ජීවිතය හා සිරුර පිළිබඳ පුද්ගලිකව තීන්දු ගැනීමේ අයිතිය ද ඇතුළත් ය. ඒ අයිතිය භුක්ති විඳීමට අවශ්‍ය  නෛතික ආරක්ෂාව ලබා දීම පාලකයාගේ වගකීමක් බවට පත් වන්නේ නිතැතිනි.
        මේ අයාලේ ගිය සටහන් රාශිය සමාප්ත කිරීමේ අරමුණින් මේ ශ්‍රේෂ්ට සංස්කෘතිය රජයන රටේ, මීට වසර තිස් පහකට පමණ පෙර, රත්නපුර දිස්ති‍්‍රක්කයේ ගම්බද පළාතක පැවැත්වූ සංගීත සංදර්ශනයකින් පසුව, පසුදින උදෑසන දැකිය හැකි යථාරූපී දර්ශනයක් ප‍්‍රවීණ ලේඛක මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ගේ නවතම නවකතාව වූ ‘මාණික්කාවත’ කෘතියෙන් උපුටා  දක්වමි.
      ‘හතරවටින් එළිය වැටී තිබේ. සංදර්ශනය නිමා වී ඇත. පිට්ටනියේ තැන් තැන්වල හිස් කජු ගොටු, කඩදාසි, සිලි කවර පිරී ඇත. බීමත් පුද්ගලයෙක් නින්දෙන් අවදි වී වැනි වැනී පිට්ටනිය හරහා ගමන් ගනී. යාබද ගස් යට කාන්තා යට ඇඳුම් ය.’
(‘මාණක්කාවත’ පිටුව 162 - සන්ථව ප‍්‍රකාශකයෝ.)
 

Saturday 9 January 2016

‘වලාකුළු බැම්ම’ අතැතිව ‘මෙරු’ ගැන සිහිපත් කිරීමක්.

 
 
 
 
 
 
 
       මගේ පලමු  නවකතාව බිහි වන්නේ 1992 දී. ඒ කාලේ අද තරමට පොත් පළවුනේ නෑ. හැබැයි පුස්තකාල මණ්ඩලයේ ආධාර ලැබුනොත් ප‍්‍රකාශකයෙක් හොයා ගත්තෑකි. මගෙ මෙරු පොතටත් ඒ ආධාරෙ හම්බ වුනා. ඒ මුදල ගැන තැකීමක් නොකළ මුද්‍රණ නීතිගත සංස්ථාව පොත ප‍්‍රකාශයට පත්කළා. පිටපත් 3000ක් ගහපු මෙරු ඉක්මනින් අලෙවි වුණා. ඒකට එක හේතුවක් ඒ පොතේ සාධාරණ මිළ. තුන්සිය ගණනකට ආසන්න පිටු සංඛ්‍යාවක් තිබුණත් පොතේ මිල වුනේ රුපියල් පනහයි.
    
       එදා ඒ පොතේ පිටකවරය කළ පි‍්‍රයන්ජන් සුරේෂ් ද සිල්වා සහෘදයාට හොඳම කවරයට රාජ්‍ය සම්මානය ලැබුණා. කවරයේ අගනා ඡුායාරූපය එවකට ප‍්‍රවීණ ඡුායාරූප ශිල්පියෙකු වූ හෙන්රි රාජකරුණාගේ. ඒ අවුරුද්දෙ හොඳම නවකතාවට තේරුණේ ඇන්.ටී. කරුණාතිලකගෙ ’ගුරුවරයා  උත්තම පුරුෂයෙකි’ නවකතාව. ඒත් සයිමන් නවගත්තේගමයන්ගේ ‘දඩයක්කාරයාගේ කතාව’ හා මගේ ‘මෙරු’ ප‍්‍රශස්ත නවකතා ලෙස සම්මානයට පාත‍්‍ර කර තිබුණා.
  
     හු`ගක් රසික ප‍්‍රතිචාර ලැබුණු ‘මෙරු’නවකතාකරුවෙකු ලෙස මට හොඳ කල එළි මංගල්‍යයක් වුණා. එය එක්තරා ආකාරයකට මගේම ජීවිතයේ කුඩා කොටසක් වෙනත් විදිහකට කළ ප‍්‍රති නිරූපණයක්ද වෙනවා. මගේ තුරුණු විය ලස්සණ කළ ‘මෙරු’ ජීවිතයට කළ එළියක්ද ලබා දුන්නා.
  
      ඒ නවකතාවට සහය දුන් ඇත්තන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් මෙසේ පෙළ ගැස්විය හැකියි. මහාචාර්ය සරත් විජේසූරිය, නිමල් ඒකනායක, පි‍්‍රයන්ජන් සුරේෂ් ද සිල්වා, ආරිය රාජකරුණා, මැඩොන්සා, මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ සභාපති ගුණසේකර, එහි මුද්‍රණ කළමනාකරු ටී.ජයසිංහ , සේනාරත්න වීරසිංහ, එකළ ලංකා බැංකුවේ සේවය කළ දේ.වි.ගාල්ලගේ, පී.වීරසිංහ , ජයන්ත නානායක්කාර ආදීන්. මේ පොතේ මුල් පිටපත පිළිගැන්නුවෙ කෘතහස්ත දේශපාලකයෙකු වූ ,ටී.බී.ඉලංගරත්න මහතාට. ඉහළින් දැක්වෙන්නේ ඒ පිළිගැන්වීමේ පිංතූරයක්. ඒ ළ`ග ඉන්නේ අධ්‍යාපනඥයෙකු වූ ආචාර්ය පේ‍්‍රමදාස උඩගම.
 
       මේ පොත පිටවන කාලෙ රාවය පුවත් පතේ 5 වන සංවත්සරය පැවැත්වුණා. උත්සවය තිබුණේ එවකට ඔවුන්ගේ නිවහන තිබුණු රත්මලානෙ . එදා ඒකට බස්නාහිර මහ ඇමතිනිය වූ චන්දි‍්‍රකා කුමාරණතුංග මහත්මියත් ඇවිත් සිටියා. වික්ටර් අයිවන් මහත්තයා මාව ඇයට හඳුන්වලා දුන්නෙ ‘මෙරු’ පොතේ කතෘ විදිහට. එයට ප‍්‍රතිචාර දක්වමින් ඈ කිව්වෙ රාජ්‍ය සම්මානයට නිර්දේශ කෘති සියල්ලම තමා මිළදී ගත් බවත් මේ දිනවල තමා ‘මෙරු’ කියවමින් සිටින බවත්. පොතේ මුල් අඩ ගැන ඈ මගෙන් ප‍්‍රශ්නයක් දෙකකුත් ඇහුවා මතකයි. චන්දි‍්‍රකා, මම, සරත් විජේසූරිය, සුනිල් ජයසේකර හා වික්ටර් අයිවන් ඉන්න පින්තූරයක් අයිවන් මහත්තයාගෙ ‘චෞර රැුජින ’ පොතේ තියෙනවා. අන් සියල්ල කෙසේ වෙතත් ඇගේ මේ කියවන ගුණයට මා තුළ ඇත්තේ නොනැසෙන ගෞරවයක්.
  
        මේ පොත පිටවෙලා දැන් අවුරුදු විසිපහකට කිට්ටුයි. ‘මෙරු’ බිහිවුනාට වඩා වෙනස් යුගයක දි ‘වලාකුළු බැම්ම ’ බිහිවෙන්නේ . අද පොත් පළවෙනවා වැඩියි. එය කර්මාන්තයක් හැටියට ක‍්‍රමානුකූලයි. කවුරු කෙසේ කීවත් නවකතාව හා කෙටිකතාව දියුණු තැනෙක තිබෙන බවයි මගේ හැ`ගීම.
   
        නවකතාවට සාපේක්ෂව විචාර කලාව දියුණු වී නැහැ. එදා විශ්ව විද්‍යාලවලින් ඊට කළිං යුගවල තරම් නැතැත් විචාර ලියවුණා. අද විචාර කියල දෙයක් තියෙනවා නම් ඒවා පවතින්නෙ විශ්ව විද්‍යාල වලින්  බැහැරව. සංතෝස විය හැකි දේකට තියෙන්නෙ විචාර ඒකාධිකාරිය බිඳ වැටීමයි. ්මෙරු’ මේ විචාර ඒකාධිකාරියට එකළ මුහුණ දුන්නා. මාධ්‍ය අවකාශයේ පත්තර පමණක් අධිපතිත්වය දැරූ එසමයේ විචාරයක් පළ කර ගන්නට හිතවත් ඒ වගේම බලවත් පත්තර කාරයො මිත‍්‍රයො විදියට සිටිය යුතුයි. කොත්මලේ සිරිසේන වගේ තමන්ගෙ පත්තරෙ ඇතුලෙ කිසිවක් කර ගන්නට බැරි හිත හොඳ මිත‍්‍රයො විතරක් ඉඳල මදි. කන බොන මිත‍්‍ර සමාජය ඇතුලෙ දොඹගහවත්ත, ගාමිණී සුමනසේකර වගේ අය සිටිය යුතුයි. ඒත් ඒ තරමට ඉංගී‍්‍රසි පත්තර පිරිහිලා තිබුණේ නෑ. යාලූ මිත‍්‍රකම්වලට පිටින් මාධ්‍යයේ සදාචාරකම් ඔවුන් රැුක්කා. මගේ ‘මෙරු’ ගැන ඔබ්සෝවර් හා අයිලන්ඞ් පත්තරේ විචාර දෙකක් පළවුනා. එකක් ලිව්වෙ අජිත් සමරනායක මහත්තයා.
  
 ඒත් ‘වළාකුළු බැම්ම’ මුහුණ දෙන්නෙ ඊට වඩා වෙනත් යුගයක වෙනස් තත්වයකට.

Thursday 7 January 2016

2016




                           
           මිනිසෙකු උපදින විට ඔහු අනෙක් මිනිසුන්ගේ පැහැය නිසා, සමාජ තත්ත්වය නිසා හෝ ආගම නිසා ඔවුනට වෛර නොකරයි. පසුව ඔහුට එසේ වෛර කිරීමට උගන්වයි. මිනිසුන්ට එසේ වෛර කිරීමට ඉගැන්විය හැකි නම් ඔහුට ආදරය කිරීමට ද ඉගැන්විය හැකිය. මන්ද ස්වභාවයෙන්ම වෛරයට වඩා ආදරයට මිනිස් හදවතේ වැඩි ඉඩක් පවතින බැවිනි.
- නෙල්සන් මැන්ඩෙලා

        2015 ලෝකය කැළැඹූ මහා ව්‍යසනයන් සිදුවූයේ අපි‍්‍රකාව හා අරාබිය මුල් කරගෙනය. ෂීෂී ත‍්‍රස්තවාදය, ශිෂ්ටාචාරය විසින් කාලාන්තරයක් තිස්සේ මිනිස් සමාජයට ප‍්‍රගුණ කරවන ලද උසස් මානවීය වටිනාකම් සියල්ල කෙලසා දමා ආපසු ශිෂ්ටාචාරය පටන් ගන්නට පෙර පැවැති මූසල යුගයට ලෝකය ගමන් කරවමින් තිබේ. එහෙත් ශිෂ්ටත්වය ලෝක තලයේ ගැඹුරට මුල් බැස තිබීම නිසා ෂීෂී ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ හැකියාවක් පවතින බවක් දක්නට තිබේ. ෂීෂී ත‍්‍රස්තවාදීන් අඳින ඇඳුමේ, පළදින සපත්තුවේ සිට අත දරාගෙන සිටින අවි ආයුධ දක්වා වූ සියලූ පරිහාර භාණ්ඩ මුස්ලිම් ලෝකයේ නිෂ්පාදන හෝ නිර්මාණ නොවේ. ඒවා බටහිර හෝ වෙනත් නිෂ්පාදන ක‍්‍රම දියුණු කරන ලද ලෝකයේ රටවලින් ඔවුන් අත පත් ඒවාය. විශේෂයෙන් ඔවුන් අත දරණ ආයුධ ඇමෙරිකාවේ හෝ ඇමරිකාව ඔස්සේ ඔවුන් අතට ලැබුණු  ඒවාය. තමන්ගේ බලාධිකාරිය ගොඩ නගා ගැනීමට ලෝකය විෂම චක‍්‍රයකට ගොදුරු කිරීම සිදු කළේ නූතන යුගයේ නම් ඇමෙරිකාවේ මෙහෙයවීම යටතේ ය.
        ඇමරිකාව එහි ආදිවාසි ජනයා පළවා හරිමින් සුදු ජාතීන්ට සුදුසු ලෙස ජනාවාස කෙරුණේ එංගලන්ත පැරණි අධිරාජ්‍යවාදයේ අනුහසිනි. ඒ ඉතිහාසය දැන් වන විට අවුරුදු දෙසිය ගණනකි. එය ලෝක ඉතිහාසයේ ගමන් මග හා සලකා බලන විට ඉතා කුඩා ඉතිහාසයකි. එහෙත් කාරණා ගණනාවක් නිසා ඇමරිකාව මේ කෙටි ඉතිහාසය තුළ නොසිතූ විරූ සංවර්ධනයක් හා උසස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා ලිබරල් සමාජ නිදහසක් අත්පත් කර ගත් රටක් බවට පත්විය. ඇතැම් විට එම අසිරිමත් දියුණුව ඇමරිකාව විසින් අත්පත් කර ගත්තේ පෙරල පෙරලා කාලය මරන්නට හා ඒ මත්තේ අලසව කල් ගෙවන්නට, පුරාජේරුකම් කියන්නට ‘ඇමරිකානු මහාවංශයක් ්’  (ඉතිහාසයක්* නොතිබූ නිසා විය හැකිය. ශීඝ‍්‍රව දියුණු වූ ඇමරිකාව ඒ ගමන් මගෙහි තවදුරටත් ඉදිරියට යාමට නම් ලෝක ධනය හා බලය හසුරුවීම තමා අත තබා ගත යුතු බව ඔවුන් විශ්වාස කළේය. ඒ විශ්වාසය යථාර්ථයක් බවට පත් කිරීමට දැරූ වෑයම වනාහි නිකරුණේ යුද්ධ ගණනාවක් ලෝකය තුළ නිර්මාණය වීමත් තලෙයිබාන්, ෂීෂී වැනි ත‍්‍රස්තවාදයන් බිහිවීමත්ය.
        ඇමෙරිකානු ‘රේගන්වාදය’ කලක් තිස්සේ ඇමරිකානුවන් තුළ තිබුණු රණකාමයට තවත් නමකි. රොනල්ඞ් රේගන් ජනාධිපතිවරයා වීමෙන් පසු ලැබුණු අයෝමය ඇමරිකානු නායකත්වයට කියවෙන අනවර්ථ නාමයකි. . ඇමරිකානු රණකාමීන් විශ්වාස කරන්නේ දෙවන ලෝක යුද්ධයේ දී ලෝකය විනාශයෙන් බේරීම සිදු වූයේ ඇමරිකාව ඒ සඳහා මැදිහත් වූ නිසා බවයි. එසේ නොවන්නට ලෝකය හිට්ලර්ට නතුව විනාශ වීමට ඉඩ තිබිණි. මිත‍්‍ර ජාතීන් ලෙස එංගලන්තය, ප‍්‍රංශය, රුසියාව ආදි රටවල් එක්ව සිටියත් ඒ ශක්තිය කෙසේවත් නැගී තිබුණු ජර්මන් යුද ප‍්‍රවාහය පරාජය කිරීමට අසමත් බවත් එය පරාජය කළ හැකි වූයේ ඇමරිකාව මිත‍්‍ර ජාතීන්ට එක්වීම නිසා බවත් ඇමරිකානු රණකාමීන් තවමත් විශ්වාස කරයි. එහෙයින් ලෝකය මෙහෙයවීමේ බලය තමන් සතුවිය යුතු බව දක්ෂිණාංශික ඇමෙරිකානුවන් තවමත් විශ්වාෂ කරයි.
          එහෙත් ලෝකයේ බලාධිකාරීන් කවරක් විශ්වාස කළත් ඒ ඒ රටවල ජනයා තමන්ට ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව නිදහස, කවර තරමේ හේතුවක් මතවත් අහෝසි කර ගැනීමට සූදානමක් නැත. ඒ සුබවාදී මහජන තෙරපුම ඇමරිකාවේ රණකාමය පරදා ඔබාමා බලයට පත් කළේය. ඒ මහ බලගතු රටේ සිදු වූ දෙයයි. ලංකාවේ ද 18 වන සංශෝධනය මගින් ගෙන එන්නට තැත් කළ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය හා ඒ ආශි‍්‍රතව දැනටමත් තිබෙන ප‍්‍රජාතත්ත‍්‍රවාදය, මානව නිදහස, අධිකරණයේ නිදහස ආදී කාරණා වැළලී යාම පරාජය කිරීමට ලංකාවේ ද මහජන තෙරපුම සමත් විය.
        ඔබාමා සිදු කළ  කොංග‍්‍රසය ඇමතීම ඇතුළු වැදගත් දේශනවලට සාවධානව සවන් දුනහොත් ඒවායේ ඇති දර්ශනය නම්, අනාගත ලෝකය යුද මුක්ත එකක් විය යුතු බවත්, මානවීය වටිනාකම් මානව සුරක්ෂිතතාව වර්ධනය කළ යුතු බවත්ය. ඇමරිකානු රිපබ්ලිකන් අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වැදෙන ඩොනල්ඞ් ට‍්‍රයම්, මුස්ලිම් ජනයා සියල්ල ත‍්‍රස්තවාදයේ ගොඩට දමමින් ඔවුනට ඇමරිකාවට පැමිණීමට ඇති සංක‍්‍රමණික අවස්ථා ඇහිරිය යුතු යයි කළ ප‍්‍රකාශය ඇමරිකාව තුළමත් ඉන් පිටතත් මහත් අවඥාවට ලක්ව තිබේ. මුස්ලිම්වරුන්ගේ පරම හතුරු රාජ්‍යය වූ ඊශ‍්‍රායලය පවා මේ කට කැඩිච්ච කතාව නිසාම ට‍්‍රයම්ට තම රටේ සංචාරයකට ඉඩ නුදුන්නේය. කැනඩාවේ දක්ෂිණාංශික ප‍්‍රධාන දේශපාලන පක්ෂය වූ කොන්සර්වේටිච් පක්ෂය පවා එහි අන්තර් පාලන කාලීන නායිකාව වූ රීනා ඇම්බ්‍රෝස් ලවා ට‍්‍රයම්ගේ කතාවට තම විරෝධය දක්වා ඇත. ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂය සිය අපේක්ෂකත්වය තේරීමේ තරඟයේදී රිපබ්ලිකන් රණකාමීන්ගේ සහයෙන් ඉදිරියෙන්ම සිටින ඩොනල්ඞ් ට‍්‍රයම්ස් ජයගතහොත් ප‍්‍රතිවාදී ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂිකාව පැරදවීම තබා සැලකිය යුතු තරඟයක්වත් දිය නොහැකි යයි විශ්වාස කරන බව ආරංචි මාර්ග පවසයි. එහෙයින් රිපබ්ලිකන් පක්ෂ ව්‍යවස්ථාවේ කිසිදාක පාවිච්චි නොකළ ප‍්‍රතිපාදනයක් උපයෝගී කර ගනිමින් පක්ෂ නායකයා විසින් අපේක්ෂක තර`ගයකට සහභාගි නොවූ වෙනත් අපේක්ෂකයකු ජනාධිපති තරගයට පත් කිරීමට ඉඩ ඇති බව ඇතැම් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
         1982 දී පමණ රුසියානු කඳවුර හා ඇමරිකානු කඳවුර අතර තිබුණු සීතල යුද්ධය නිමාවීමෙන් පසුව ලෝකය අලූත් හුස්මක් ගැනීමත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මානව නිදහසට අලූත් වටිනාකමක් ලැබිණි. දැන් කියුබාව හා ඇමරිකානු සහයෝගිතාව වර්ධනය වෙමින් පවතී. ලෝකයේ ‘කල වැද්දෙකු්’ සේ අග්නිදිග ආසියාවේ සිට චණ්ඩි පාට් දමන උතුරු කොරියාවටද ඒ ස්ථාවරයේ වැඩිකල් සිටීම අපහසු වනු ඇත.
මුස්ලිම් සමාජය තුළ ගොඩ නැගෙන අමානුෂික ත‍්‍රස්තවාදයට මුස්ලිම් ප‍්‍රජාවගෙන්ම මතුවන විරෝධතාවක් පවතී. බොහෝ අය නොදන්නා නමුත් මුස්ලිම් ආගමේ අන්තවාදයට එරෙහිව ඉතිහාසය මුළුල්ලේ එම භක්තිකයන් තුළින් ම විවේචන එල්ලවීම සිදු විය. සුෆී වැනි විනීත ආගමික ධාරාවක් මුස්ලිම් ව්‍යාපාරය තුලින් නිර්මාණය වීම  එයට උදාහරණයකි. ලංකාව, බුරුමය, භූතානය, ආදී රටවල බෞද්ධ ත‍්‍රස්තවාදයන් වර්ගවාදීව හැසිරෙමින් සිය උත්තම ශාස්තෘවරයාට එරෙහිව හැසිරෙන අතරම, ඒ උතුම් මුනි පණිවිඩය තුළ ගැබ්වූ ගුණ සුවඳ පතුරුවන බෞද්ධ ව්‍යාපාර ද ලෝකය පුරා බලවත් වෙමින් පවතී. දලයි ලාමා තුමා ලෝකය පුරා කරන සාම මෙහෙවර, බෞද්ධ භාවනාව සුළං වේගයෙන් ලෝකය පුරා ප‍්‍රචලිත වීම, මීට උදාහරණයෝ වෙති. ලෝකය පුරා කතෝලිකයන් හා අනෙකුත් කි‍්‍රස්තියානි අදහන්නන් අතර ඇවිලී ගිය යුද්ධ දැන් දකින්නට නැති තරම්ය.
         මේ සියල්ල කියා පාන්නේ 2016 න් ඇරඹෙන අනාගතය යහපත දිසාවට හැරී ගමන් කරන බවයි. ඒ අනාගතය තුළ ඇත්තේ එකිනෙකා මරා ගැනීම පිළිබඳ ආස්ථානයන් නොව ජීවත් කිරීම පිළිබඳ ආස්ථානයන් ය.
         ආතර් සී ක්ලාක් පැවසුවාක් මෙන් අනාගතයේදී මේ සියලූ ආගම් එකී නම්වලින් වියැකී යනු  ඇත. එහෙත් ඒවා විසින් අතීතයේ ස්ථාපිත කරන ලද සාරාර්ථයන් ලෝකය ආලෝකමත් කරනු ඇත. වෛරය වෙනුවට ආදරයේ පණිවිඩය ලෝකය සිසාරනු ඇත.