Sunday 27 November 2016

මගේ.... අපේ .... කැස්ත්‍රෝ




       හවානා  නගරයට යන්නෙකුට සෞන්දර්යයන් දෙකක් එකට මුණ ගැසෙනු දැකිය හැකිය.  පැරණි ස්පාඤ්ඤ යටත් විජිත සමයේ ප‍්‍රතාපවත් ගොඩනැගිලි , පෞරාණික යුගයට අයත් කෞතුකාගාර හා කලාගාර එක් සෞන්දර්යය පාර්ශ්වයක් නියෝජනය කරයි. දෙවැන්න නියෝජනය කරන්නේ පිදෙල් කැස්ත්‍රෝ නායකත්වය දුන් විප්ලවයෙන් පසු කියුබාව ගොඩ නැඟීමේ අප‍්‍රතිහත ධෛර්යයට අයත් ස්මාරකයන්ය. තමාගේ හිස් මත විවිධ විකල් වූ මති මතාන්තර සහිතව කියුබාව දකින සමහරු කියුබාව ‘දුප්පත් රටක්’ ලෙස නාම ගන්වති. එහෙත් මා එරට හඳුන්වන්නේ ශී‍්‍ර ලංකාවට වඩා සෑම අතින්ම දියුණු රටක් ලෙසිනි. කියුබාව සියුම්ව නිරීක්ෂණය කළ මට නම් හැඟී ගියේ අප රටේ සංවර්ධනය ක‍්‍රමවත් කිරීමට, විනයානුකූල සමාජයක් බිහිකිරීමට බොහෝ අංශවලින් ඒ රට ආදර්ශයට ගත හැකි බවයි. කලෙක සීනි හා දුම් කළ නිෂ්පාදන කියුබානු ආර්ථිකයේ ප‍්‍රධාන රඳා පැවැත්ම වුවත් අද සංචාරක ව්‍යාපාරය අංක එක බවට පත්වී සීනි හා දුම්කොළ නිශ්පාදන දෙක හා තුනට වැටී ඇත. සංචාරක ව්‍යාපාර ඇරඹීමට කැනේඩියානු හා වෙනත් බහුජාතික සමාගම්වලට ඉඩ දී ඒවායින්  බදු මුදල් හා වෙනත් දෑ වශයෙන් ලාභයක් ලබාගෙන, ඒ ක්ෂේත‍්‍රය දියුණු කර ඇත. දකුණු ඇමෙරිකාවේ අන් රටක නැති තරම් ආරක්ෂාවක්, අපරිමිත ලස්සණකින් යුත් නිල් මුහුදු වෙරළක් හා ස්පාඤ්ඤ හා කළු ජාතික උරුමය සමෝසේ මිශ‍්‍රවීමෙන් ඇති වූ සෞන්දර්ය කාමය, රට තුළින් සංචාරක ව්‍යාපාරයට ලබා දෙන දායකත්වයයි.

       රට මැදින් නිදහසේ ගමන් කරන විට, වෙහෙස නොබලා තම ගොවිපලවල වැඩ කරන ගොවීන්, පිරිසිදුව හා ලස්සනට පාටින් සැරසී විවිධ කටයුතු කරන රූමත් ළඳුන්, සම ආකාරයට ගොඩනැගුණු පහසුකම් සහිත පාසල් හා රෝහල් කියුබාවේ අපට දැකිය හැකි භෞතික දැකීම්ය. හිතවත්කම් මත මිතුරු රටවලින් ගත් සංවර්ධන ආධාර මිස ඔවුන් ලෝකයේ ණය නැති රටවල් කිහිපය අතරට වැටේ. ලෝකයේ වසංගත රෝග පාලනය අතින් ඉහළම ස්ථානයට කියුබාව ගැනෙන්නේ සිය සමීප රට ලෙස සියලූ වසංගත  බෝ කරන ඇමෙරිකාව පිහිටා තිබෙද්දීය.

        සමාජ ගර්භයෙන් මතු වූ මිනිස් මහිමාව විප්ලවීය ජීව ගුණයක් බවට පත් කරගනිමින් හැට වසරකට ආසන්න කාලයක් ලෝකයට ධී ගුණය පෙන්වූ රටක් වේ නම් ඒ කියුබාවය.

      ඒ කියුබාව මහා මිනිසුන් සමූහයකගේ නිර්මාණයක් වුවද ඒ මිනිස් මහිමාව ඒකරාශී කළ මහා මිනිසා පිදෙල් කැස්ත්‍රෝය. ඇමරිකාවද වෙනත් බොහෝ උදවිය ද බොහෝ දේ පැවසුවද කියුබානු ජනයාගෙන් කියුබාව යනු කුමක්දැයි ඇසුවහොත් ඔවුන් කියන්නේ කැස්ත්‍රෝගේ රට කියාය.

       අපි උපත ලද්දේ ද, තරුණ වියේ මැදක් වන තුරුම ගෙවී ගියේ ද, සමාජවාදය ලෝක යථාර්ථයක්ව පැවති යුගයකය. කියුබානු විප්ලවය අපට ජීව ගුණය සැපයීය. කැස්ත්‍රෝ රැුවුල, චේගුවේරාගේ තොප්පිය, අපට මැඩෝනාගේ රූසපුවට වඩා එදා අගනේ විය.

      මිනිසෙකු අඳුරු වන පෙතක, හුදකලා  මුඩු බිමක හෝ පාලූ නිවසක සිටින විට ඇතිවන පාලූව මතක් කර ගන්න. වීරයන් අහිමි මිනිසෙකුට අන්න එයාකාර පාලූවක් ඇතිවේ. එය විඳ දරා ගැනීම අපහසුය. එහෙත් අපේ තරුණ වියට වීරයෙක් ලැබුනේය. ඒ වීරයා පිදෙල් කැස්ත්‍රෝය. ඔහු ඈත යුගයක ආගමික ශාස්තෘවරයකු නොවීය. දෙවියන් විසින් එතුමන්ගේ ආනුභාවය සහිතව එවූ පුත‍්‍රයාද නොවීය. ඔහු ලෙනින්, මාක්ස්, එංගල්ස් හෝ ට්‍රොට්ස්කි තරම් පොත පත නොලියුවේ ය. න්‍යායන් බිහි නොකළේ ය. එහෙත් ඔහු මිනිස් වග වෙත ඇලූම් කළේය. ගී‍්‍රක මිථ්‍යා කථාවල ඇති පුංචි වීරයෙකු මෙන් අසබඩ සිටින දුර්ජන හතුරු යෝධයාට එරෙහිව සටන් කළේය. එමෙන්ම තමන්ගේ පාලන වපසරිය තුළ සිටි මිනිසුන්ට මහත්සේ ආදරය කළේය. ඉනික්බිති එවැනි විමුක්තිකාමී ජනයා වෙසෙන රටවලට තම කුඩා අටුවෙන් යමක් දී නගා සිටෙව්වේය. ඔහු තම සුරතල් රට ගොඩ නැගුවා සේම එරට මිනිසුන්ද ගොඩ නැඟුවේය. විවිධ වකවානුවල ලංකාවේ සේවයට පැමිණි කියුබානු වෛද්‍යවරුන්ගේ ගුණ යහපත්කම හා සේවයට කැපවීම අපේ  නූතන වෛද්‍යවරුන්ගේ මාෆියාව හා සසඳා බලන්න. සුනාමි සමයේ සේවයට පැමිණි කියුබානු වෛද්‍යවරු රෝගියාට බෙහෙත් තුණ්ඩු ලිව්වා පමණක් නොව ඒවා නිවරැුදිව බිව්වාද බලන්නට ඔවුන්ගේ නිවෙස්වලටද ගියෝය. වෙද නලාව පැත්තකින් තබා කැඩුනු නිවෙස් තනා ගැනීමට කායික ශ‍්‍රමයෙන් උදව් කළෝය. ඒ අපූරු දේශපාලනයක් විසින් මෙහෙයවුණු වෘත්තිකයන්ගේ හැටිය.

        අපල උපද්‍රව සහිත මුහුද මතින් හැට වසරකට ආසන්න කාලයක් නෞකාව පැදවූ ලෝකයේ විමුක්තිකාමි තරුණ මනස් බලාපොරොත්තුවෙන් පිරවූ ඒ වියපත් තරුණයා 2016 නොවැම්බර් 25 දින සිය දිවි කුසුම මුදා හළේය.

        දේශීය වූ අපේ උතුම් අමරදේව වියොවින් අපේ සංස්කෘතික ජීවිතය අඩපන වූයේ යම් සේ ද, කැස්ත්‍රෝ සහෝදරයාගේ වියොවින් අපේ දේශපාලන ජීවිතය අඩපණ වන්නේය.

1 comment:

  1. සුභ ගමන් ෆිදෙල්............

    ReplyDelete