Sunday 27 November 2016

මගේ.... අපේ .... කැස්ත්‍රෝ




       හවානා  නගරයට යන්නෙකුට සෞන්දර්යයන් දෙකක් එකට මුණ ගැසෙනු දැකිය හැකිය.  පැරණි ස්පාඤ්ඤ යටත් විජිත සමයේ ප‍්‍රතාපවත් ගොඩනැගිලි , පෞරාණික යුගයට අයත් කෞතුකාගාර හා කලාගාර එක් සෞන්දර්යය පාර්ශ්වයක් නියෝජනය කරයි. දෙවැන්න නියෝජනය කරන්නේ පිදෙල් කැස්ත්‍රෝ නායකත්වය දුන් විප්ලවයෙන් පසු කියුබාව ගොඩ නැඟීමේ අප‍්‍රතිහත ධෛර්යයට අයත් ස්මාරකයන්ය. තමාගේ හිස් මත විවිධ විකල් වූ මති මතාන්තර සහිතව කියුබාව දකින සමහරු කියුබාව ‘දුප්පත් රටක්’ ලෙස නාම ගන්වති. එහෙත් මා එරට හඳුන්වන්නේ ශී‍්‍ර ලංකාවට වඩා සෑම අතින්ම දියුණු රටක් ලෙසිනි. කියුබාව සියුම්ව නිරීක්ෂණය කළ මට නම් හැඟී ගියේ අප රටේ සංවර්ධනය ක‍්‍රමවත් කිරීමට, විනයානුකූල සමාජයක් බිහිකිරීමට බොහෝ අංශවලින් ඒ රට ආදර්ශයට ගත හැකි බවයි. කලෙක සීනි හා දුම් කළ නිෂ්පාදන කියුබානු ආර්ථිකයේ ප‍්‍රධාන රඳා පැවැත්ම වුවත් අද සංචාරක ව්‍යාපාරය අංක එක බවට පත්වී සීනි හා දුම්කොළ නිශ්පාදන දෙක හා තුනට වැටී ඇත. සංචාරක ව්‍යාපාර ඇරඹීමට කැනේඩියානු හා වෙනත් බහුජාතික සමාගම්වලට ඉඩ දී ඒවායින්  බදු මුදල් හා වෙනත් දෑ වශයෙන් ලාභයක් ලබාගෙන, ඒ ක්ෂේත‍්‍රය දියුණු කර ඇත. දකුණු ඇමෙරිකාවේ අන් රටක නැති තරම් ආරක්ෂාවක්, අපරිමිත ලස්සණකින් යුත් නිල් මුහුදු වෙරළක් හා ස්පාඤ්ඤ හා කළු ජාතික උරුමය සමෝසේ මිශ‍්‍රවීමෙන් ඇති වූ සෞන්දර්ය කාමය, රට තුළින් සංචාරක ව්‍යාපාරයට ලබා දෙන දායකත්වයයි.

       රට මැදින් නිදහසේ ගමන් කරන විට, වෙහෙස නොබලා තම ගොවිපලවල වැඩ කරන ගොවීන්, පිරිසිදුව හා ලස්සනට පාටින් සැරසී විවිධ කටයුතු කරන රූමත් ළඳුන්, සම ආකාරයට ගොඩනැගුණු පහසුකම් සහිත පාසල් හා රෝහල් කියුබාවේ අපට දැකිය හැකි භෞතික දැකීම්ය. හිතවත්කම් මත මිතුරු රටවලින් ගත් සංවර්ධන ආධාර මිස ඔවුන් ලෝකයේ ණය නැති රටවල් කිහිපය අතරට වැටේ. ලෝකයේ වසංගත රෝග පාලනය අතින් ඉහළම ස්ථානයට කියුබාව ගැනෙන්නේ සිය සමීප රට ලෙස සියලූ වසංගත  බෝ කරන ඇමෙරිකාව පිහිටා තිබෙද්දීය.

        සමාජ ගර්භයෙන් මතු වූ මිනිස් මහිමාව විප්ලවීය ජීව ගුණයක් බවට පත් කරගනිමින් හැට වසරකට ආසන්න කාලයක් ලෝකයට ධී ගුණය පෙන්වූ රටක් වේ නම් ඒ කියුබාවය.

      ඒ කියුබාව මහා මිනිසුන් සමූහයකගේ නිර්මාණයක් වුවද ඒ මිනිස් මහිමාව ඒකරාශී කළ මහා මිනිසා පිදෙල් කැස්ත්‍රෝය. ඇමරිකාවද වෙනත් බොහෝ උදවිය ද බොහෝ දේ පැවසුවද කියුබානු ජනයාගෙන් කියුබාව යනු කුමක්දැයි ඇසුවහොත් ඔවුන් කියන්නේ කැස්ත්‍රෝගේ රට කියාය.

       අපි උපත ලද්දේ ද, තරුණ වියේ මැදක් වන තුරුම ගෙවී ගියේ ද, සමාජවාදය ලෝක යථාර්ථයක්ව පැවති යුගයකය. කියුබානු විප්ලවය අපට ජීව ගුණය සැපයීය. කැස්ත්‍රෝ රැුවුල, චේගුවේරාගේ තොප්පිය, අපට මැඩෝනාගේ රූසපුවට වඩා එදා අගනේ විය.

      මිනිසෙකු අඳුරු වන පෙතක, හුදකලා  මුඩු බිමක හෝ පාලූ නිවසක සිටින විට ඇතිවන පාලූව මතක් කර ගන්න. වීරයන් අහිමි මිනිසෙකුට අන්න එයාකාර පාලූවක් ඇතිවේ. එය විඳ දරා ගැනීම අපහසුය. එහෙත් අපේ තරුණ වියට වීරයෙක් ලැබුනේය. ඒ වීරයා පිදෙල් කැස්ත්‍රෝය. ඔහු ඈත යුගයක ආගමික ශාස්තෘවරයකු නොවීය. දෙවියන් විසින් එතුමන්ගේ ආනුභාවය සහිතව එවූ පුත‍්‍රයාද නොවීය. ඔහු ලෙනින්, මාක්ස්, එංගල්ස් හෝ ට්‍රොට්ස්කි තරම් පොත පත නොලියුවේ ය. න්‍යායන් බිහි නොකළේ ය. එහෙත් ඔහු මිනිස් වග වෙත ඇලූම් කළේය. ගී‍්‍රක මිථ්‍යා කථාවල ඇති පුංචි වීරයෙකු මෙන් අසබඩ සිටින දුර්ජන හතුරු යෝධයාට එරෙහිව සටන් කළේය. එමෙන්ම තමන්ගේ පාලන වපසරිය තුළ සිටි මිනිසුන්ට මහත්සේ ආදරය කළේය. ඉනික්බිති එවැනි විමුක්තිකාමී ජනයා වෙසෙන රටවලට තම කුඩා අටුවෙන් යමක් දී නගා සිටෙව්වේය. ඔහු තම සුරතල් රට ගොඩ නැගුවා සේම එරට මිනිසුන්ද ගොඩ නැඟුවේය. විවිධ වකවානුවල ලංකාවේ සේවයට පැමිණි කියුබානු වෛද්‍යවරුන්ගේ ගුණ යහපත්කම හා සේවයට කැපවීම අපේ  නූතන වෛද්‍යවරුන්ගේ මාෆියාව හා සසඳා බලන්න. සුනාමි සමයේ සේවයට පැමිණි කියුබානු වෛද්‍යවරු රෝගියාට බෙහෙත් තුණ්ඩු ලිව්වා පමණක් නොව ඒවා නිවරැුදිව බිව්වාද බලන්නට ඔවුන්ගේ නිවෙස්වලටද ගියෝය. වෙද නලාව පැත්තකින් තබා කැඩුනු නිවෙස් තනා ගැනීමට කායික ශ‍්‍රමයෙන් උදව් කළෝය. ඒ අපූරු දේශපාලනයක් විසින් මෙහෙයවුණු වෘත්තිකයන්ගේ හැටිය.

        අපල උපද්‍රව සහිත මුහුද මතින් හැට වසරකට ආසන්න කාලයක් නෞකාව පැදවූ ලෝකයේ විමුක්තිකාමි තරුණ මනස් බලාපොරොත්තුවෙන් පිරවූ ඒ වියපත් තරුණයා 2016 නොවැම්බර් 25 දින සිය දිවි කුසුම මුදා හළේය.

        දේශීය වූ අපේ උතුම් අමරදේව වියොවින් අපේ සංස්කෘතික ජීවිතය අඩපන වූයේ යම් සේ ද, කැස්ත්‍රෝ සහෝදරයාගේ වියොවින් අපේ දේශපාලන ජීවිතය අඩපණ වන්නේය.

Saturday 12 November 2016

මෙරු දෙවන මුද‍්‍රණය දොරට වැඩිය දා






































දිනය 2016 සැප්තැම්බර් 24
ස්ථානය  බී එම් සී එච් ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය

       මෙරු නිකුත් වී අවුරුදු 25ක් ඒ වුනත්  මේ පොත නැවත මුද්‍රණය කරගන්න ආසාවක් මට තිබුණා මගේ වාසනාවට මෙරු නවකතාවේ පළමු ප‍්‍රකාශකයන් වන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නැවත ප‍්‍රකාශන ක්ෂේත‍්‍රයට ඇවිත් ඔවුන් මේ වැඬේට කැමති වීම කොච්චර දෙයක්ද, මේ සඳහා එහි ප‍්‍රකාශන කළමනාකාර මධුරංග නුවන්පි‍්‍රය දැරූ වෙහෙස කොතරම්ද .මධුරංග දක්ෂ යහපත් කෙනෙක් කියලා මං කොළඹ ඉන්න කාලේ ඔහු දන්නා සාහිත්‍ය හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් කිව්වා. එමෙන්ම  මුද්‍රණ නීතිගත සංස්ථාවේ සහාපති රවි කලංසූරිය හා කි‍්‍රයාකාරි අධ්‍යක්ෂ ආදිහෙට්ටි මහත්වරු එහි උන්නතිය අරබයා බොහෝ දේ කරන බවයි ආරංචිය. මං මේ සියලූ තොරතුරු එම ආයතනය බාර නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අප හිතවතාටත් දැනුම් දුන්නා. රාජ්‍ය සේවය විනාශ කරන්නට එහි මුදුන් තලයේ වැජඹෙන උදවිය කටයුතු කළ ආකාරය පිළිබඳ මට ඇත්තේ සමීප අත්දැකීම් සමුදායක්. ඒ අතර දක්ෂයින් හමුවුණාම ඔවුන් රැුක ගන්න සුලූවෙන් හෝ යමක් කළ හැකි නම් ලොකු දෙයක්.

      එදා කුඩා උත්සවය මට මහත් සතුටක් ගෙනාවා. උත්සවය මෙහෙය වූයේ මධුරංග. රවි කලංසූරිය මහතා ආදිහෙට්ටි මහතා අපේ නිමල් ඒකනායක අනුරසිරි හෙට්ටිගේ සොයුරන් කතා කළා. මගේ මුල්ම පොතේ ප‍්‍රකාශකයා වූ සේනාරත්න වීරසිංහයනුත් පැමිණීම මගේ සතුට දෙගුණ කළා. මේ උත්සවය ගැන පමණක් නොව පොතේ ප‍්‍රකාශනය ගැන පවා කිව නොහැකි තරම් මහන්සි වූයේ කුසල් සමරවික‍්‍රම සොයුරාය.

       ඒ ආකාරයට එදා පැමිණ උදව් කළ අපව දිරිමත් කළ සියල්ලට මගේ පමා වූ ස්තුතිය පිරිනමමි.
    මේ පොතේ කවරයට  මීට වසර 25කට පෙර හොඳම කවරයට හිමි රාජ්‍ය සම්මානය හිමිවූණි .එය නිර්මාණය කළේ පි‍්‍රයන්ජන් සුරේෂ් සොයුරාය. එදා ඒ කවරයට පාදක වූ ඡුායාරූපය ගනු ලැබුවේ ප‍්‍රවීන ඡුායාරූප ශිල්පි හෙන්රි රාජකරුණා ශූරීන්ය. ඒ ඡුායාරූපය ඇසුරෙන් මෙරු දෙවන මුද්‍රණය සඳහා කවරය නිර්මාණය කරනු ලැබුයේ සමන්ත ගමගේ සොයුරාය.
      එදා දොරට වැඩුමේ මේ පළවන ඡුායාරූප අයිතිය කුසල් සමරවික‍්‍රම සතුය.
      නිර්මාණයක් වුව සමූහ කි‍්‍රයාදාමයක් වන්නේ මෙලෙස නොවන්නේද?  

Saturday 5 November 2016

අමරදේව





 

පුන්සඳ ඇවිදින්නා සේ මගේ හදවත මතින්... කිව නොහැකි
ගැඹුරක්..... කිව නොහැකි සාඩම්බර හැගුමක්.....

නොදරුවකු වූ මට, මගේ අම්මා සිය තන පුඩුවෙන් කිරි උරා
බොන්නට සලස්වා.... ඒ මදිවට කී නැළවිලි ගීත් ඔබේය.

තරුණ, ගැටවර වියේ, ප්‍රේමයේ කුමුදාන අවදිව ලියූ ප්‍රේමයේ
පොරොන්දු කවියත් ඔබේය.

ප්‍රේමය සැලමුතු වී ලෙයින් ලියූ
කවියත් ඔබේය.
 
 
පිය පදවිය ලැබූ දා උදාරම් ලෙසින් සටහන් තැබූ කවියත් ඔබේය.
 
සැලමුතු පෙම මල්වී පරවී ගිලිහී වැටුනදා ගැයූ පසුතැවිලි කවියත් ඔබේය.
 
මැදිවියේ මෝදු වූ ප්‍රේමයේ හා ඒ හා උපන් සංතාපයෙන් යුතුව
උස් ස්වරයෙන් හැඬු හැඩුමේ තනුවත් ඔබේය.

මැදිරිගිරිය වටදාගේ අසලින් සොරා ගත්තේ
සඳකඩ පහනක් වූ ඔබේ ගීතයක් ය.
 
මහවැලි වතුර ලෙස පොල්ගොල්ලෙන් රජරටට මුදා හැරියේත්
ඔබේ රැකවල් ලූ ගීතයක්ය.

සැවුලන් උදෑසනින් අවදිව ලොවම අවදි කරවන්නේ
සොරාගත් ඔබගේ තනුවේ කොටසකිනි.
 
මීට විසි වසරකට පෙර, ගමේ ගුරුන්නාන්සේ තැනූ මල් යහනෙන් නැගුණු
ගොක් කොළ සුවඳ, පුවක් මල්, පොල්
මල් සුවඳ, නික, ගම්මිරිස් කොළ සුවඳෙහි ද, ඔහු ගයද්දී ආතුරයා වී
මා අසා සිටි මල්යහන් කවිවල ද ඔබේ ගීතය තිබිණ.
 
නගරයේ ගෙන්දගම් අව්වෙන් හොඳටෝම කේඬෑරි වී,
අම්මාගේ දස අවුරුදු දානයට ගමේ ගිය දා, රජමහ වෙහෙරේ බිතු සිතුවම් යළිදු නැරඹුවෙමි.
තේමිය ජාතකය ද, වෙස්සන්තර ජාතකය ද, ඇඳ තිබූ ඒ පනේල අස්සෙන් ආ
පැරණි සුවඳෙහි ඔබේ ගීයේ සමහන් බව තිබුණි.
 
රජමහ වෙහෙර වට කොට තිබූ පූදින නිල් ගොයමෙහි සිහිලැල් සුවඳ,
මුවින්, සවනින්, දෙනෙතින් විඳි විටක ඔබේ ගීතය ද, ඔබේ රූපකාය ද මතක් විය.
 
වෙහෙරෙන්, බෝධි මළුව වෙන් කළ තැන ඇති පියගැට පෙළෙහි හිඳ අසනා
බෝධියේ සිලි සිලි හඬෙහිත්, සුදෝ සුදු සෑ රදුන් දැකීමෙන් ඇතිවන,
මහා නිවී සැනසීමේත්, ඔබේ ගීතයද තනුවද විය.
 
සියුම් රාවයක් සහිත බීතෝවන්ගේ මහා නාදාවලියෙන්,
සුවයේ පරමය භූක්ති විඳින කල,
හංසවිලේ හැම තැනම සිනාසෙන හැම තැනම ලතවෙන නාදයන් ගේ, රසය විඳින කල,
ඒ විඳීම නම් ලොව්තුරා සුවය පහදා දුන් මුනිවරයා ඔබය.
 
කල් කර්ම, අකල් කර්මයන්ගෙන් මිදුණු, වස විසෙන්,
කලි කලහයෙන් තොර, කුනුහරුප, රැවුම් ගෙරවුම් නැති,
කුල ගොත් නොවිමසන ලෝකයක පරමානන්දයේ
 
නාදේශ්වරයාණෝත් ඔබය.

(මගේ 'කැට කිරිල්ලී '(2010) කෘතියේ මවිසින් අමරදේව දෙවිදුන් පිදූ හැටි......)

Thursday 3 November 2016

මේ මහ වියොව හා අපේ සැ`ගවුණු සාමුහික අධ්‍යාත්මය


 

අමරදේවයන් තරමට දේශ සීමාව ඇතුලත සිටින සියල්ලන්ගේම ආධ්‍යාත්මයට ඇමතිය හැකි අන් කිසිවකු නැතැයි සිතමි` මේ මොහොත අපතේ නොයවා අපට පොදු සමාජ සංහිඳියාවක් සඳහා යම් ආරම්භයක් ගත නොහැකිද
පලමුව කවුරුත් පාහේ මෙතුමන්ගේ වටිනාකම අවබෝධ කරගෙන ඇති බව ලෝකයාට පෙන්විය යුතුය එය ඉහලින්ම පටන් ගත යුතුය හොංකොං ගිය අගමැති ඒ ගිය සියල්ල කල් දමා ලංකාවට පැමිණ අවමගුලට සහභාගි විය යුතුය .ජවිපෙ සියලූ රතු කොඩි අඩකුඹු කළ යුතුය
සියලූ කලාකාර සමූහයා තම තම ශක්ති පමණින් සිය හැගුම්බර ශෝකය ප‍්‍රසිද්ධියේ පළ කළ යුතුය. සියලූ පක්ෂ බේද අතහැර ඔහුගේ වියොව ගැන සිය හැගීම් පළ කළ යුතුය. න්‍යායික බෙදීම් රේඛාවල දෙපැත්තේ සිටින උදවිය සාමූහිකව තමන් අගයන මේ සුලවතාට ප‍්‍රසිද්ධියේ ප‍්‍රණාමය පළ කළ යුතුය. අප‍්‍රමාණ බේදයන් සිත් දරා ගත් බොහෝ දෙනාට සාමූහිකව අමතන්නට සමත් වූ එකම මිනිසා අමරදේවයන්ය