Sunday 14 May 2017

වෙසක් පිළිබඳ අතීතකාම මතකය.





          මම සිංහල අවුරුද්දට වඩා වෙසක් එකට වැඩියෙන් කැමතිය. එය මගේ අතීත මතක කලාපයේ වැඩි ඉඩක් එළිය කරයි. වෙසක් කියන විට මතක් වෙන්නේ අපේ ගෙදර අද්දරින් ගැලූ මා ඔය දෑලේ පිහිටා තිබූ සපු ගස් දෙකය. සපුමල් සුවඳ තරම් හදවතට ගිලා බහින මතක සිටින ස්වාභාවික පරිසරයෙන් ආ සුවඳක් මා විඳ නැති තරම්ය. ඊළඟට අරලිය මල් සුවඳය. ලෝකයේ අග නගරයක වසර පහළොවක් තිස්සේ ජීවත්වන මම ගමට යන්නේ මේ දෙ- සුවඳ කියා දෙන මං පෙත් ඔස්සේය.
          අද මම ගමට යන විට හැට හැත්තෑව දශකයේ ඒ භෞතික ගම නැත. කුඹුරු යායවල් පුරන් වෙන්නට ඇර තිබේ.  සපු ගස් දැව වශයෙන් ගෙන ඇත. පන්සලට යන පාර දිගේ තිබූ තේජාන්විත අරලිය ගස් පවා හේතුවක් නැතිව කපා දමා තිබේ. මගේ සෑම පොතකම පාහේ තිබූ පරිසරයේ හැඩ රුව කාබාසීනියා වී ඇත. එදා දෙකන්නයේ වගාවට වෙන් කෙරුණු කුඹුරු හා කඳු වැටි වගා නොකරන්නේය. ඒ නිසා උසට වැඩුණු ගහ කොල විනාශ කිරීමට සහ ඉඩෝර කාලයේ ගිනි තැබීම නිසා අක්කර ගණනක් මුඩුබිම් පෑදී ඇත්තේ උඳගොව්වා කෑ අප‍්‍රසන්න හිසක විලාසයෙනි.

        මහ ඉහළින් පැවැත්වුණු 2600 බුද්ධ සැමරුම් වර්ෂයේ වෙසක් සිරි නැරඹීමට මම මගේ අතීත සැමරුම් බිම් වල ඇවිද්දෙමි. මා අතීත කාමයෙන් සිහිපත් කරන අවධියේ අපේ ගම්පලාත්වලට විදුලිය නොතිබිණි. වෙසක් එක එළිය වුනේ බකට් පහන්වලිනි. වෙසක් කූඩු වලිනි. ඈත කඳු වැටිවල එල්ලී ඇති බකට් පහන් දෙතුන් දොහක් තිස්සේ මනරම් දසුන් මැවීය. ගමේ රජ මහා විහාරයට යා යුත්තේ අප නිවස පසු කරගෙනය.  මහ සෙනග දෙදිනක් පුරා අප ගේ ඉදිරිපසින් පන්සලට ඇදේ.
      මේ දසුන් අද නැත. හාමුදුරුවෝ පන්සලේ නැත. නඩු හබවල, ගලබොඩ අත්තේගේ රැුස්වීම්වල, මහින්ද රාජපක්ෂ යන එන උත්සවලට හාමුරුදුවෝ පිටත්ව ගොසිනි.ලංකාවේ සංස්කෘතික විපරිනාමය සිදුවී ඇත්තේ මෙයාකාරයටය.
       යෙහොවාගේ සාක්ෂිකාරයන්ගේ ලෙඩ සුව කිරීමේ රැුස්වීම්වලට දහස් ගණන් බැතිමතුන් පැමිණෙති. ඒ එන ඔක්කෝම ලෙඞ්ඩුය. සදහම් ආශ‍්‍රමවලට නන් වැදෑරුම් අසපුවලට ද එලෙසින්ම දහස් ගනන් බැතිමතුන් පැමිණෙයි. ඔවුන් ද ලෙඞ්ඩුය. මේ අසපු නිසා අනවශ්‍ය තරමට ආගමික වීමෙන් කැඞී බිඳී ගිය පවුල් ගණනාවක් ගැන මම දනිමි.
         ඔයාකාර ආගමුත්, අවර ගනයේ කලාවත් පවිටු දේශපාලකයන්ට ගැලවී සිටීමේ හොඳ උගුල්ය. ඒ උගුල්වලින් අපේ ඉතිහාසයේ බොහෝ දේශපාලකයෝ හොඳින් වැඩ ගත්හ.
          පුරාතන බුදු දහම ශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය නිර්මාණය කිරීමේදී මහ මෙහෙවරක් ඉටු කළෝය. පුරාණ යතිවර සම්ප‍්‍රදාය වනාහී ලංකාවේ සංස්කෘතික අලංකරණයට මග පෑදුහ. හික්කඩුවේ ශී‍්‍ර සුමංගල, රත්මලානේ ශී‍්‍ර ධර්මාරාම, ලූණුපොකුණේ ධර්මානන්ද, කොත්මලේ ශී‍්‍ර ධර්මානන්ද, විදුරපොල පියතිස්ස, පැලෑනේ සිරි වජිරඥාන, වැලිපිටියේ සෝරත, කිරිවත්තුඩුවේ ශී‍්‍ර ප‍්‍රඥාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති, පොල්වත්තේ ශි‍්‍ර බුද්ධධත්ත, තෙල්වත්තේ ශී‍්‍ර අමරවංශ, උඩකැන්දවිල සිරි සරණංකර ආදි භික්ෂු උතුමන්ලා ඒ වියත් යුග මෙහෙවරට බරසාර ලෙස උරදුන්හ. මේ උතුමන්ගේ ශාස්තී‍්‍රය මෙහෙවරට අලගුවත් තිබිය හැකි එක් භික්ෂුවක් හෝ අප අතර සිටීද? බුද්ධි සම්ප‍්‍රදාය වැනසී ගිය බුදු දහමක අසිරිය මෙවැනි වෙසක් උත්සවවලින් වුව පෙනේ.

සුනිල් මිහිදුකුල - සිනමා මාධ්‍යවේදයේ බලවත් සළකුණක්



         සුනිල් මිහිඳුකුල ගැන ලියන්නේ ඔහු අසනීප වූ නිසා දැයි කෙනෙකුට ඇසිය හැකිය. එය එසේ විය හැකිය. ජීවිතයේ මොකක් හෝ කඩ ඉමක් නැත්නම් ගුණ කතා ලියවෙන්නේ නැත. එය අපේ රටේ පමණක් නොව ලෝකයේම හැටිය. එහෙත් දේශපාලකයන්ට එය එසේ වන්නේ නැත. ඔවුන් නිරන්තර යාවත් කාලීන වෙයි. බලයේ දිසාවට යන ඔවුන් වටා රොද බදින මිනිසුන් වඩා ලංවීම උදෙසා ගුණ ගයති. වයති. ලියති.
     සුනිල් යනු අපේ පරම්පරාවේ මිනිසෙකි. අපි එකටම වාගේ මාධ්‍ය වෙත සමීප වූවෝ වෙමු. ගාමිණී විජේතුංග  නම් වූ දැවැන්ත නිර්මාණශීලී ජනමාධ්‍යවේදියාගේ ගමන් මග ඔස්සේ පසු පසින් ගෑටු අපට වින්සන්ට් පෙරියපෙරුම නම් වූ ගාමිණීගේ දෙවෙනියා මාධ්‍යයේ විනය කුමක්දැයි බලා හැදෙන්නට තමාම උදාහරණ වූ හොඳ මිනිසෙකි. මා දෙසතිය වෙත කැඳවාගෙන ආවේ පි‍්‍රයන්ජන් සුරේෂ් ද සිල්වාය. ඒ දෙසතිය නම් වූ පොකුණේ වූ අලංකාර  මාලූවෙකි සුනිල් මිහිඳුකුල. ඔහු තමා නියැලි සිනමා මාධ්‍ය ගැන බැ?රුම්ව සිතූ කෙනෙකි. පිළිවෙලට ඇන්ද පැලැන්ද හිස පීරු ඔහු සුරාජිගේ පේ‍්‍රමය මුණ ගැසී විවාහයකින් ද කෙළවර වූ පසු වෙලාවට ගෙදර ගිය විනයානුකූල ස්වාමි පුරුෂයෙක් ද විය.
      කෑමට බීමට පමණ ඉක්මවා ලොල් නොවූ සුනිල් මිහිඳුකුලට කන බොන මිනිසුන්ට හැදෙන අසනීපයක් මාරාන්තිකව වැළඳීම මට නම් අදහා ගත නොහැක්කකි.
      සුනිල් දෙසතියේ සිටිද්දී සිනමාකරුවන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡුාවල විශේෂයක් තිබුණි. ඒ ඔහු අසන ප‍්‍රශ්නය සාකච්ඡුාකරුවාගේ උත්තරයට වඩා දිගු වීමයි. සුනිල්ගේ ප‍්‍රශ්නවල අන්තර්ගතය විශාලය. එහෙයින් උත්තරකරු දෙන්නට හිටින උත්තරයේ කොටසක්ද ප‍්‍රශ්නයේ ගැබ්වෙන හෙයින් උත්තරය කෙටි වීම බලාපොරොත්තු විය යුතුය. මේ පිළිබඳව රංගවේදී මනෝරත්නයන්ට ලස්සන කතා තිබේ.
       මගේ විශ්වාසයේ හැටියට සුනිල් මිහිඳුකුල සිනමාව ගැන තිබුණු භක්ත්‍යාදරය ජයවිලාල් විලේගොඩට වඩා වැඩි එකකි. ජයවිලාල් කලාත්මක සිනමාව යම් තැනකින් එහා ගැඹුරට යාම නොඉවසුවෙකි. එහෙත් සුනිල් කලාත්මක ගැඹුරු සිනමාවද (ලෙස්ටර් පතී වසන්ත ඔබේසේකර) සමාන්තර සිනමාවද (එච් ඞී පේ‍්‍රමරත්න විසින් උත්කර්ෂයට නැංවූ) යන මාවත් දෙකම සිංහල සිනමාව වශයෙන් පැවතිය යුතු බව ඇදහූවෙකි. ඔහුගේ සිනමා මාධ්‍ය කලාව සමාන්තර මාධ්‍ය කලාවක් ලෙස හැඳින්වීමේද වරදක් නැත.
සිනමා මාධ්‍යවේදියෙකුගේ වර්ධනය රටේ සිනමාවේ ගනිකයන් අනුව සිදුවන්නකි. එහෙත් ලංකාවේ වඩාත්ම බිඳ වැටුණු කලා මාධ්‍යය සිනමාව වන කලක සිනමා මාධ්‍යවේදියෙකු ගේ උසස් ඵලදායිකත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. සුනිල් මේ සංක‍්‍රාන්ති සමයේ සිනමා මාධ්‍ය තෝරාගත් අයෙකි. ඔහු ක්ෂේත‍්‍රයට ඇතුළුවුණු 70  දශකයේ අග භාගයේ සිංහල සිනමාවක් හා ඒ සඳහා වෙසෙන වෘත්තිය කණ්ඩායම් විය. එහෙත් ඒ සිනමා කර්මාන්තයක් වශයෙන් මිය යන්නට පටන් අරගෙන තිබුණු අවධියකි. එහෙත් සුනිල් සිනමා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ බල පුළුවන්කාරයෙක් වන විට සිනමාව ඇද වැටී හමාරය. ප‍්‍රසන්න, අශෝක හඳගම වැනි කිහිප දෙනෙකුගේ උත්සාහයන් හා දේශපාලනික වැඩ පිළිවෙළක අංගයන් ලෙස බිහි වූ  අබා, දුටු ගැමුණු හා ඊනියා දේශපේ‍්‍රමි චිත‍්‍රපට හැරුණු කොට අද දවසේ ඇති නටබුන් සිනමාව තුළ සුනිල් වැනි කැපවුණු සිනමා මාධ්‍යවේදියකුට කරන්නට දෙයක් නැත. ජයවිලාල් විලේගොඩ හෝ කරුණාසේන ජයලත් වැනි විචාරකයන් තරමට සුනිල් මිහිඳුකුල තම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වර නොනැගෙන්නේ සුනිල්ගේ වරදක් නිසා නොව සිනමාව නම් වූ විෂය නටබුන් වූ නිසාවෙනි.
        සුනිල් හා අප එකම මාධ්‍ය ආයතනයක ආධුනික මාධ්‍යවේදීන් ලෙස සේවය කරන සමයේ ඔහුගෙන් වහනය වූ ගුණ සුවඳක් දුටිමි. එනම් තමා නිරත දෘෂ්‍යමාධ්‍ය වැඩිදුර හැදෑරීමට තිබූ අනවරතන උත්සාහයයි. එකල සිනමා මාධ්‍ය විෂයයේ ප‍්‍රවීණයන් වූ නීල්, අයි පෙරේරා, පියසිරි නාගහවත්ත, පියල් සෝමරත්න, ඇෂ්ලි රත්නවිභූෂණ, ලෙස්ලි බොතේජු වැන්නන් සමග සුනිල්ට සමීප සබඳතා තිබුණෙන් ඒ ඇසුර ඔහුගේ සිනමා මාධ්‍යවේදයේ වර්ධනය සඳහා උපකාර වූ බව මගේ හැඟීමයි.
         මා වෘත්තිය මාධ්‍ය ජීවිතයෙන් ඉවත්වීමත් සමග සුනිල් සමග ළඟ ඇසුර අහිමි විය. එහෙත් සුනිල් සිය මාධ්‍යවේදයේ ඉහළටම ගියේය. පොත පත ලිව්වේය. ජූරි සභාවල අසුන් ගත්තේය. මේ සෑම තැනකම ඔහුගේ කැපවීම අවංක ද අභිවෘද්ධි දායක ද වූ බව තුඩ තුඩ රැුඳී ඇති රාවයයි. සුනිල් ඔහු තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයේ ගම්භීරව ගරුත්වයෙන් යුතුව රැුඳී සිටියේය. එහෙයිනි. ඔහුගේ සගයන්ට පමණක් නොව ඔහුගේ පාඨකයන්ටද ඔහුගේ රෝගී පීඩාදිය ගැන වේදනාවක් දැනෙන්නේ.
                  චන්ද්‍රරත්න බණ්ඩාර