Friday 24 November 2017

යහපත් භෞතික ජීවිතයක් සඳහා භාවනාව







       බුදු දහම විසින් ලෝක ශිෂ්ටාචාරයට දායාද කළ මාහැඟි ධනය භාවනාව යයි සිතමි. බුදුන් වහන්සේ සිය ඉගැන්වීම් ඔස්සේ අනාගත ලෝකය විසින් එහි යහපත සඳහා පාවිච්චි කරතැයි සිතා පහදා දුන් කරැණා මෛත්‍රියාදි ගුණ ධර්ම උන් වහන්සේ අදහස් කළ අයුරින් ස්ථාපිත නොවීය.නැතහොත් කාලයාගේ ඇවෑමෙන් එවැනි මාහැඟි අධ්‍යාත්මික චර්යාවන් පවත්වාගෙන යාහැකි ක්‍රම වේදයන් බෙෳද්ධයා විසින් කාලයාගේ ඇවෑමෙන් අහිමි කර ගත්තේය. එහෙත් භාවනාව යනු ශාස්තෘවරයෙකු විසින් ලොවට තිළිණ කළ උතුම්ම ධනයයි.ඒ බව විදර්ශනා භාවනාව ගැන විග්‍රහ කරමින් ඕෂෝද පවසා ඇත.


     භාවනාව එලොව ජය ගැනීමට යානයක් කර ගත හැකිදැ යි මම නොදනිමි. එහෙත්  අවට පරිසරය හා සුසංවාදිව යා වීමට නම් භාවනාව යානයක් කර ගත හැකිය. තමාට තමාව කියවා ගැනීම භාවනාව මගින් ලැබෙන පළමු හැකියාවයි.තමා දන්නා ප්‍රමාණයත් නොදන්නා ප්‍රමාණයත් එමගින් තමාටම පසක් කර ගත හැකිය. එලෙස තමාව මැනවින් අවබෝධ කර ගන්නා තැනැත්තාට ප්‍රේමයේ දී වේවා, සමාජ විෂයයන්වලදී වේවා , වෙනත් අභියෝග හමුවේදී වේවා,තමා විසින් තමාටත් අනෙකාටත් කෙරෙන හිත් තැලුම් අවම කරමින් ඒ විෂයයන්හි නියලිය හැකිය.


     බුදු දහම විසින් පරිසමාප්ත විෂයයක් බවට පත් කළ භාවනාව , එහි අදාළත්වය නිසාම මහයානික විද්වතුන් එය ප්‍රගුණ කිරීමට ඇති මං පෙත් තව තවත් විවර කළේය. වනයක හෝ තාපසාරාමයක කරන බවුන් වැඩීම පමනක් දැන සිටි බෞද්ධ සමාජය එළඹ සිටි සිහිය ලබා  ගැනීමට කරන හැම දෙයක්ම භාවනාව යන පුලුල් වර්ගීකරණයට ලක් කළහ. භාවනාව සඳහා භාවිතා කරන සංගීත නිර්මාණ ඔබ අසා ඇති.