Tuesday 5 December 2017

සහෝදරයා







සහෝදරයා
අන්තර් ජාලයට (විද්‍යාවට)පින් සිදුවන්නට කලාවන් යැයි හැ්‍ඳින්වෙන ඇතැම් දේ බැහැර කිරීමට අපට පුලුවන්කම ලැබී තිබේ. මවිසින් එසේ බැහැර කරන ලද්දකි සිංහල ටෙලි නාට්‍ය. එහෙත් සහෝදරයා ටෙලි නාට්‍යය එසේ බැහැර කිරීමට මට නොහැකි විය. මේ ටෙලි නාට්‍යය වෙනත් දෙයැකැයි මට හිතුනේ එකී කෘතියට දැමූ නම නිසාවෙනි. එය නැරඹීමට මා පෙළඹවූ ප්‍රධානම ආකර්ෂනය වූයේ ඒ ''අමුතු" නමයි. හිතන පතන තරැණයාගේ ඛේදවාචකය පිළිබ‍ඳ ව හතළිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ මගේ මතකය රිදවන කලා කෘතියක් වූ 'වල්මත්වූවෝ' මට බලපෑම් කර ඇත්තේ යම් සේද, 'ස හෝදරයා" ටෙලි නාට්‍යයද ඒ හා සමානව ඇතැම් විට ඊටත් වඩා අනාගතයේ මට බලපෑම් කරාවිද?
 
සියලු නිස්සාර දේ වපුරන වර්තමාන සිංහල ටෙලි නාට්‍ය නැවත ගොඩ ගැනීමට රැවන්ඩාව ගොඩ ගත් පෝල් කිගාමා කෙනෙකු වීමට නාමල් ජයසිංහට හැකිවේද?
වල්මත්වූවෝ චිත්‍රපටයේ උපාධිධරයාගේ (ෂර්ලි ගෝමස්) ගේ මිනී පෙට්ටිය වහන විට මගේ කඳුලක් ඇස් කෙවෙනියෙන් පිටතට ගලා ගියා අදටත් මතක තියේ. එවැනි සමාන අත්දැකීම් එකළ අපේ සිනමා ලෝලී මිතුරන්ට තිබූ බවද මම දනිමි. එමෙන්ම රජීව්ගේ මරණයෙන් තැවෙන උත්තරාදේවිගේ සමාන වෙලාවක මගේද ඇසට කඳුලක් නැංවීය. රඟපෑමේ හතර මායිමට කැඳවාගත නොයුතු 'නිළි" යන්ගේ  පුංචි තිරය තුලත් ඉන් පිටතත් දකින විකාර රංගන අබියස මේ නවක නිළිය සහෝදරයා ටෙලි නාට්‍ය මත තබන්නේ බරැති පියවරකි.
තුමි‍ඳු, රොෂාන්, චමිලා, ධර්මප්‍රිය ඇතුලු සියල්ලෝම පාහේ සිය රංගනයෙන් අපූරු යුක්තියක් ටෙලි නාට්‍යට එකතු කර ඇත. විශේෂයෙන් කලා අධ්‍යක්ෂවරයා සහ වේෂ නිරෑපන ශිල්පියා ටෙලි නාට්‍යය චිත්‍රපටයක් දක්වා ඔසවා තබන්නට සමත් වී තිබේ. උත්තරා දේවිගේ මැද පංතික ස්වරෑපය සැකසීමේ දී ඔවුන් දක්වා ඇති කුසලතාවය අපූරුය.
සංවාදය ඇණ හිට නොව වල්මත්වී ඇති සමාජයක කලාකෘතිවලට ඒ වල්මත්වීම සෘජුව හෝ වක්‍රව බලපායි. ඒ බව කලාකෘති පිළිබඳ විශ්ලේෂණයේ දී හොඳ හැටි දැක ගත හැකිය.
තමා ජීවත්වන වටපිටාවේ බිහිසුණු නිර්දය බව සංයමයෙන් යුතුව කලාකෘතියකට ගොනුකොට ගල් ගැසුනු සමාජයේ නිදි ගැට කඩන්නට සහෝදරයා සමත් වනු ඇද්ද? ඒ කවර මට්ටමකටද? එය මට කිව නොහැක්කකි.
මා සහෝදරයා 6වන එපිසෝඩය බැලුවේ ඊයේ (දෙසැ 4) මැදියම් රැයෙහිය.රජීව්ගේ මරණය ගැන විමසන්නට පැමිණෙන 'මාධ්‍යවේදියාට" රොෂාන් පහර දෙන විට 'මේන්් මාධ්‍යවේදියෙකුට පහර දෙනවා "  යන විකට උත්ප්‍රාසජනක කියමන මගේ කෙටි නින්දටත් බාධා කළේය. අපි නිතර කතා බහ  කරන ජනමාධ්‍ය වැටී ඇති නින්දා සහගත විකාර තැන ගැන වචන දහස් ගණනකින් ලියා ඒත්තු ගැන්විය යුතු වේදනයක් ඒ දෝංකාරයෙන් මට ඇසුණි.
කිසිදා නොදුටු කිසිදා ඇසුරැ නොකළ නාමල් ජයසිංහ අනාගතයේ දවසක මුණගැසීමට ආසාවෙන් සිටින්නේ 'සහෝදරයා" තුලින් පෙනෙන ඔහුගේ නිර්භීත කමට ගරැ කිරීමටත් එක්කය.
චන්ද්‍ර්‍රරත්න බණ්ඩාර

1 comment:

  1. 'සහෘදයා' දරාගත් 'දයාව' "සහෝදරයා" නම් වේ.

    ReplyDelete