Sunday 2 December 2018

ශී‍්‍ර ලංකාවේ බොල් පොළොවට දේශපාලනය ගෙනා අනුර කුමාර දිසානායක





ශ‍්‍රී ලාංකිකයනට නොවැම්බරය (ඉල් මාසය) වැදගත් වන්නේ එය ලංකාවේ එක්තරා දේශපාලන යුගයක් අවසන් වීම හේතුකොට ගෙනය.  1935 දිනෙක මහා මානවවාදී ව්‍යාපාරයක් ලෙස ලංකා සමසමාජ පක්ෂය උපත ලැබීය. එය විසින් අවදි කරන ලද ජන හඬ විසිවන සියවස පුරාත් අද දවසේත් බොහෝ දේවල් තීරණය  කරමින් තිබේ. එහෙත් අද වන විට සම සමාජ පක්ෂය වැහැරුණු කඩමාල්ලක් බවට පත්ව තිබෙන නමුත් එදා ඊට නායකත්වය දුන් සියල්ලෝම පාහේ මේ රටේ ඇති හැකි පවුල්වලට අයත් නියමාකාර බටහිර අධ්‍යාපනයක් ලැබූ වියතුන් පිරිසකගෙන් සමන්විත විය.
  එහෙයින් ඔවුනට බෙහෙවින් ආරක්ෂිතව තම ව්‍යාපාරය මේ පොළොවේ පිහිටුවන්නට හැකි විය. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සැබැවින් ම ශ‍්‍රී ලංකාවේ මහපොළොවේ සිදු වූ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස මතුවූ එකක් නොවීය. එය එකල එංගලන්තයේ මතුවෙමින් ආ ප‍්‍රගතිශීලී දේශපාලන නැඹුරුව නිසා ඇති වූවකි.
 ලැබුණු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඬු කැඞීමට කැපවූයේ එක්සත් ජාතික පක්ෂය හා එහිම විභේදනයක් ලෙස පසු කලෙක ස්ථාපිත වූ බණ්ඩාරනායක නිර්මාතෘවරයාව තැණුනු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහෙත් ලැබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් අර්ථවත් කිරීමටත් එය ඡුන්ද බලයකට එහා ගිය සාමාන්‍ය මිනිහාට, දුගී දුප්පතාට එමගින් ලබාගත හැකි සෙත සලසා දීමටත් දායක වූයේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයයි.  1948 සිට 77 දක්වා වැඩවසම් පවුල්වාදය තුළ එතුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ලංකාව පාලනය කළේය. එතැන් සිට 1977දී ජේ ආර් ගෙන් ආරම්භ වී මහින්ද රාජපක්ෂ ගෙන් හා ඉනික්බිති අද දක්වා කුළුගැන්වෙන්නේ ඒකාධිපතිත්වයට බර ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. මේ පාලන ව්‍යුහයන් දෙකෙහිම අධිකාරිත්වයට එරෙහිව ඒවායේ ගැබ්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වැදුණේ ලංකාවේ පැරණි හා නව වාමාංශික ව්‍යාපාරයයි.  මේ කාලය තුළ නැගීම් වැටීම් වලට ලක්වෙමින් අඛංඩව ඉදිරියට ආවේ  එකම වාමාංශික ව්‍යාපාරයක් නොව එහි ප‍්‍රභේදනයන් ය.
ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ගෙඩි පිටින් ආණ්ඩු බලය නොගත්තත් ලංකාවේ ශේෂව හෝ පවතින දේශපාලන ශිෂ්ටත්වය වනාහි වාමාංශික නිමැවුමකි. ඔවුන්ගේ ධෛර්යයේ හා අවංකභාවයේ ප‍්‍රතිඵලයකි.  මා අද විශ්වාස කරන පරිදි ලංකාවේ පරණ වම දෘඩ මාක්ස්වාදී ව්‍යාපාරයකට වඩා කිට්ටු වන්නේ වාම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයකටය. එයට යකඩ තිරයක් නොවිණ. විරුද්ධවාදීන් හා ගනුදෙනුව ලේ හැලෙන මෘග එකක් නොව සංවාදශීලී එකක් විය. ගුටි කෑවෝ මිස ගුටි දුන්නෝ නොවීය. එහෙත් එතෙක් ආ අනර්ඝ ඉතිහාසයෙන් කැඞී වෙන් වෙමින්, 1964 ජාතිවාදී කුණු සැරව ද සහිත දක්ෂිණාංශික ව්‍යාපාරයක් සමග දීග නොයන්නට, ලංකාවේ පරණ වමට, නිදහසත්, ඡුන්ද බලයත්, රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ සිට ගොඩ නැගෙමින් පැමිණි ආයතන පද්ධතියත් සමග  අපූරුවට නූතන ශිෂ්ටත්වය ගොඩනැගීමේ කාර්යය මීට වඩා සාර්ථක කරගන්නට ඉඩ තිබුණි. එය සමහරවිට ලෝක ආදර්ශයක් වන්නට ද ඉඩ තිබුණි. ඇතැම් විට එමගින් ලංකාව, දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ ආසියාවේ දිදුලන තාරකාව වන්නටද ඉඩ තිබිණ.
පරණ වමේ ව්‍යාපාරයේ 1964 දක්ෂිණාංශික අත්වැල් බැඳ ගැනීම නව වාමාංශික ව්‍යාපාරයනට උපත වූ අතර එයම ජනතා විමුක්ති පෙරමුණේ උපතට ද හේතු වූයේ ය. ජවිපෙ නියෝජනය කළ සිංහල ග‍්‍රාමීය බලවේගය බණ්ඩාරනායකගේ සිංහලකරණය කරන ලද අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයක් වූ අසම්පූර්ණ උගතුන්ගෙන් (ප‍්‍රමාණාත්මක විශ්ව දැනුමෙන් වියුක්ත වූ* සමන්විත විය. රැුකියා විරහිතභාවය හා දරිද්‍රතාවය තමන් පෙලූ වේගයෙන්ම අවස්ථා දෙකකදීම මේ නව වාමාංශික තරුණයන් විසින්   දේශපාලනයේදී ත‍්‍රස්ත වේෂයෙන් මුදාහැරියේය. ඔවුන්ගේ වාචික භාෂාව, ශරීර භාෂාව ත‍්‍රස්ත එකක්ම විය. විරුද්ධවාදියා කෙරෙහි ඔවුන් සානුකම්පිත නොවීය. පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇසුරෙන් තමන්ගේ ප‍්‍රාර්ථනාවන් වඩාත් නිර්මාණාත්මකව ඉෂ්ට කර ගන්නා ආකාරයක් ගැන ඔවුන් සිතුවේ නැත.  එසේ සිතීමට අවශ්‍ය දැනුමද ශික්ෂණය ද ඔවුන් සතු වූයේ ද නැත.  එමෙන්ම දරිද්‍රතාවයද, තම ඇස් ඉදිරිපිට ඇති තමන් වෙලාගත් සමාජ අසාධාරණය ද ස්වයංව ඒ දැනුම ලබාගැනීමට ඔවුනට  ඉඩ දුන්නේද නැත. කවර හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටාපිටාවක් නොතිබුණු රටවල ඇති වූ කොමියුනිස්ට් විප්ලවය පමණක්ම ඔවුන්ගේ පරමාදර්ශය විය. එහෙයින් තරුණයන්ගෙන් පමණක් සමන්විත වූ  ජනයාගෙන් වියෝ වූ දේශපාලනයක් 1971 දී ද 1989 නොවැම්බරයේ දිී ද ලෙයින් යකඩින් මර්දනය වී  ලේ වැකි මතකයන් සමඟ නිහඩ විය.
 එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නැවත උපත ලබන්නේ 1989 අහවර වූ ව්‍යාපාරයේ නායක කාර්යභාරයක් නොකළ, එවකට පාසල් වියේ හෝ එවන් ලාබාල වියේ සිටි ගැටවරයන් තරුණයන් වූ අවධියකය. සංකේතමය වටිනාකමක් දීම උදෙසා පැරණි ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිවූ එකම එක්කෙනා ( සෝමවංශ අමරසිංහ) නායකත්වයට පත් කළත් ඔහුගේ විසුළු රංගනය කුමක්දැයි වටහා ගැනීමට ඉඩ සලසා අනතුරුව මියගියේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි අවධියේ සිය පක්ෂය ඇද දැමිය හැකි හැම අගාධයකටම ඇද දැමීමට තරම් අඥාන විය. ඔහු අපට පසක් කර දුන්නේ පූර්ව ජනතා විමුක්ති පෙරමුණේ නොගැඹුරු බව හා පටු බවයි .
අද ජනතා විමුක්ති පෙරමුණ විජේවීරගේ, ගමනායකගේ හෝ සෝමවංශ අමරසිංහගේ ජනතා විමුක්ති පෙරමුණ නොවේ. එහි චේෂ්ටාවන් එහි ක‍්‍රියාමාර්ග සපුරා වෙනස්ය. මේ වෙනස්වීම ජනතා විමුක්ති පෙරමුණ විවිධ හේතු මත හැරගිය උදවියට  දේශපාලනික කොන්ද බිඳ ගැනීමක් වුවත් ලෝකයේ හා ලංකාවේ දේශපාලන  බල දිශානතිය වටහාගත් උදවියට එය එම පක්ෂයේ නව්‍ය හා ඉදිරි පිම්මකි. පැරණි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ ඡුන්ද වර්ජනය කළ නමුත් ඡුන්දය පාවිච්චි කරන උදවිය මරා දැමු නමුත් කාලයාගේ ඇවෑමෙන් ලද අවබෝධය හේතුවෙන් අද ජනතා විමුක්ති පෙරමුණ ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ද ඡුන්ද අයිතිය පමණක් නොව දේශපාලන ශිෂ්ටත්වයේ ද ආරක්ෂකයා බවට පත්ව තිබේ.
විජේවීර පරම්පරාවේ නායකත්වය යටතේ ඔඩු දුවා තිබූ ජාතිවාදය පමණක් නොව, වාමාංශික ව්‍යාපාරයකට තරම් නොවන වර්ගවාදීත්වය සමනය කරන්නට පමණක් නොව කවර තරමේ අවදානමක් දරමින් වුවද ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින්නටද සමත් වෙහෙසකර අරගලය ජයගන්නට ඔවුන් අද වන විට සමත්ව ඇත.
මේ විපර්යාසය හා මේ ජයග‍්‍රහණයන් සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකත්වයේ කැපවීම මත සිදු වන බව සැබෑ නමුත් ඒ යහගුණයන්ට නායකත්වය දීමට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමත්ව තිබේ. ලියාපදිංචි පක්ෂ තිස්පහක් පමණ වන ලංකාවේ පක්ෂ සමුදායේ නායකත්වයේ කැපවීම යන්නේ අංක එක ඔහුය.
 පසුගියදා පාර්ලිමේන්තුවේ දී කොළ කැබැල්ලක්වත් නොබලා පැයකට අධික කාලයක් තොරතුරු බහුල සාධාරණ විරෝධයන්ගෙන් යුක්ත අනුර කුමාර දිසානායකගේ හැඟුම්බර කතාව මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළ ඇසුණු වැදගත්ම කතාව බව බොහෝ අදේශපාලනික මධ්‍යස්ථ මතධාරීන්ගේ පවා අදහසය. සමහරවිට එය 1978 පසු පාර්ලිමේන්තුවේ කෙරුනු හොඳම කතාව විය හැකිය. 1977ට  පෙර යුගයේ ඇන්.ඇම්. - කොල්වින්  වැනි දේශපාලනඥයන් මෙවැනි හා මීටත් වඩා සාරගර්භ කතා  ඕනෑ තරම් පවත්වා ඇති බව එකල හැන්සාඞ් වාර්තා දෙස් දෙයි.
 ආචාර්ය සරත් අමුණුගම ස්වයංචරිතාපදානයකට කිට්ටු ‘අන්තිම සටන’ නම් ග‍්‍රන්ථයේ පැරණි වාමාංශික දේශපාලනයට අයත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන හා බර්නාඞ් සොයිසා හඳුන්වන්නේ ‘එකම පක්ෂයකට කුෂාග‍්‍ර බුද්ධිමතුන් මෙතරම් විශාල ප‍්‍රමාණයක් එකවර ඒකරාශි වූ ලෝකයේ එකම වාමාංශික දේශපාලන ව්‍යාපාරය ලංකා සමසමාජ පක්ෂය විය හැකි බවයි.’ ඒ වාර්තාව බිඳින්නට ජනතා විමුක්ති පෙරමුණ කිසිදා සමත් නොවනු ඇති. නාගරික ධනේශ්වර පංතියට ලැබිය හැකි වරප‍්‍රසාදිත අධ්‍යාපනයේ ද, දුර්ලභ අවංක භාවයේ ද මාහැඟි ප‍්‍රතිඵල වූ එකී වාමාංශික නායකයන් වැනි උදවිය ලංකා දේශපාලනයෙන් යළි බිහි නොවුන බව සත්‍යයකි. වාමාංශික දේශපාලනයේ පමණක් නොව කුමන ලාංකික දේශපාලන ව්‍යාපාරයකටවත් එකී පැලැන්තියෙන් පැමිණි වරප‍්‍රසාදිත අධ්‍යාපනයක් ලැබූ දේශපාලන උගතුන්ට එවැනි කෘතහස්ත පෞරුෂයක් හෝ කිසිදා උදාකරගත හැකි මානවවාදයක් නැති බව ඒ උද්ධෘතය ලියූ ආචාර්ය සරත් අමුණුගමම සිය ජීවිතයෙන්ම පෙන්වා සිටී. වැඩිමනත් උදාහරණ ලෙස මහාචාර්ය ජී ඇල් පීරිස් ,මහාචාර්ය තිස්ස විතාරණ ආදීන් ගත හැකිය.
 අනුර කුමාර ද ඔහුගේ අගනා සගයන් ද අයත් වන්නේ අවවරප‍්‍රසාදිත ග‍්‍රාමීය නිර්ප‍්‍රභූ පැලැන්තියට අයත් පිරිහුණු ලාංකීය අධ්‍යාපන රටාවේ සීමාසහිතකම් මධ්‍යයේ බිහිවූ උගතුන් පිරිසක් ලෙසටය. අවාසනාවට ඔවුන් කිහිප දෙනා හා තවත් දෙතුන් දෙනකු හැර එවැනි උගතුන්වත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැත. එහෙත් ඔවුන් සරත් අමුණුගමට, ජී.ඇල්. පීරිස්ට හෝ තිස්ස විතාරණට වඩා ස්වකීය හෘද සාක්ෂියටත් සමාජ හෘද සාක්ෂියටත් සමීපය. අවනතය. තමන් වෙත ලැබුණු සිංහල කේන්ද්‍රීය සීමාසහිත අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ලෝකය හඳුනා ගැනීමට වෙර වීරිය දරන්නෝ ය. තමන්ගේම අතීත නායකයන් තමන් වෙත පතිත කළ ජාතිවාදයෙන් වර්ගවාදයෙන් පමණක් නොව දේශපාලන පටු බවින්ද ,යාන්ත‍්‍රික බවින්ද මිදෙන්නට තරම් සවිඤ්ඤාණක බවක් ඇත්තෝය. එමෙන්ම අප අනුමත නොකලත් 71 සහ 89 කැරලි වලින් මියගිය අතීත සටන් සගයන් මුදාහල වීරත්වය හා කැපකිරීමේ උරුමයේ කොටස්කරුවන් වන්නට ද සමතුන් ය.
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හරහා දේශපාලන ලෝකයට එන අනුර කුමාර 1989 භීෂණ සමය වනවිට විසි හැවිරිදි තරුණයෙකි. ඒ වයස් කාණ්ඩයේ ජීවත් වූ ඔහුට එකල භීෂණ සමය හා නිසර්ග වගකීමක් තිබිය නොහැකිය. එහෙත් ඔහු නායක කාර්යභාරයක් දක්වා යන දිගු ගමන ඇරැුඹෙන්නේ 1989 භීෂණයට වගකිවයුතු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ව යුගයේ නිමාවත් සමග ය. ඒ වැරදුනු අතීතය පිළිබඳව සවිඥ්ඥානිකව ය. අතීතයේදී වැදගත්, අ¥ෂිත හා අවංක දේශපාලකයන් බහුල වශයෙන් වම-දකුණ භේදයක් නැතිව සෑම දේශපාලන පක්ෂයකම පාහේ සිටියහ. එහෙත් අද එවැන්නන් නැතිවන තරමට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පිරිහී ආලා පාලූ වී තිබේ. පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගෙන එන, අනින්නට පිහි අරන් එන පාදඩ තැනට පාර්ලිමේන්තුව වැටී ඇති බව ලංකාවේද ලෝකයේ ද ජනයා නිර්වස්ත‍්‍ර ලෙස දැකගත්හ. එවන් කිලිටි දේශපාලන පරිසරයක පිපුණු රතු නෙළුමක් ලෙස අනුර කුමාර හැඳින්විය හැකිය

Saturday 20 October 2018

තනි මිනිහෙකුට වුවද ඉතිහාසය වෙනස් කළ හැකිය.

ගම්උදා භූමියක ගී ගයමින් සිටි අවස්ථාවක ජෝතිපාල මිය ගියේය. ඒ වන විට ප්‍රබුද්ධ ලෙස හැඳින්වුණු සමාජයේ අධිපති තීරුව විසින් ජෝතිපාල වැදගත් කලාත්මක සමාජයන් වෙත වැද්ද නොගත යුතු කෙනෙකු යයි මතයක් තිබිණි. 1980 දී පමණ නුවර බෝගම්බර පිටියේ පැවති ඇසළ මේලා සැණකෙළියේදී ජෝතිපාල ගී ගායනා කරන්නට පැමිණි විට නරඹන්නන් අතර සිටි පිරිස් නොනවත්වා ඔහුට හූ කියූ අයුරු මට තවමත් මතක තියේ. අප වුවද එකළ අපේ මතාන්තර අනුව ඒ 'හූව' අනුමත කළා විය හැකිය. නමුත් ජෝතිගේ මරණය, අප අයත් නොවූ ඔහුගේ විශාල ශ්‍රාවක සමාජයට දැවැන්ත ශෝකයක් ගෙන දුන්නේය.
මීටත් ටික කලකට පසුව දිවයින පුවත්පතට 'ඇද වැටුණු සංස්කෘතික බල කණුව' මැයෙන් ආචාර්ය සරත් අමුණුගම ලිපියක් ලිවීය. ප්‍රබුද්ධ යයි හැඳින්වුණු  සමාජයෙන් පළමුවරට ජෝතිපාල ඇගයුනේද, ඔහුගේ බලවත් සමාජ නියෝජනය ගැන ධනාත්මකව බැලුවේද ඒ ලිපියෙන් පසුවය. ආචාර්ය ජයදේව උයන්ගොඩද ඒ මතයට සහාය දක්වමින් දිවයිනටම දෙවන ලිපියක් ලිවීය.
කොටින්ම ආචාර්ය අමුණුගමයන්ගේ බලවත් ලිපිය කලාවේ ප්‍රබුද්ධ/පීචං බෙදීම්වල මායිම් ඉර නැවත ප්‍රශ්න කරන තැනට සමාජයම පත් කළේය. ජෝති නැවත සොයා යාමේ ගමනට කේමදාස මාස්ටර්ද එක් විය. කේමදාසයන්ගේ ප්‍රසංගවල නිදර්ශන ගායනා සඳහා ජෝති මෙන් ගී ගායනා කළ හැකි අනුර එදිරිසිංහ නම් අපූරු තරුණයෙකු  සොායා ගත්තේය.
ජෝතිපාල මැනවින් අවබෝධ කර නොගත් සමාජ බන්ධනයේ කඩ ඇණය ගැලවූයේ ආචාර්ය අමුණුගමයන්ය. එතැන් සිට වසර හතළිහක පමණ කාලයක් තිස්සේ ජෝතිපාල යශෝරාවය සමාජයේ ස්ථාවර දෙයක් බවට පත් විය. මේ මහා වික්‍රමය කළ තනි මිනිසා ආචාර්ය සරත් අමුණුගමය.

Sunday 14 October 2018

Frantz









Ernst Lubitsch  ගේ Broken Lullaby නවකතාව ඇසුරින් Francois Ozon ප‍්‍රංශ හා ජර්මන් භාෂාවලින් නිමැවී ඇති Frantz  චිත‍්‍රපටය යුද  වින්දිත සිනමාවේ අග‍්‍රගණ්‍ය ඵලයක් විය හැකි, කලාත්මක බවේ සීමාවන්ට අපූරුවට ළඟාවෙන, මනුෂ්‍යත්වයේ ආලෝකය තව තවත් දල්වාලන සැබෑම කලාකෘතියක් ලෙස Frantz  මගේ පිළිගැනීමය.
ඈන් පළමුවන ලෝක යුද්ධයේදී මරණයට පත්වූ Frantz නම් වූ සිය පෙම්වතා අහිමිවීමේ වියෝ දුකින් පෙළෙන යෞවනියකි. ඈ ජර්මානු ජාතියට අයත් ය. ජර්මානු ජාතික වෛද්‍යවරයකු වූ මාමා සහ නැන්දණිය සමග වෙසෙන ඈ හැකි සෑම අවස්ථාවක ම සිය පෙම්වතාගේ යැයි සිතන සොහොන් බිම වෙත ගොස් මල් කළඹ තබයි. වෛද්‍යවරයෙකු වුවද ප‍්‍රංශ රෝගීන්ට ප‍්‍රතිකාර නොකිරීමේ ප‍්‍රතිපත්තියක සිටින්නේ තම පුතා මරා දැමූ ජාතියට දක්වන වෛරයක් වශයෙනි.
යම් දිනක තම පෙම්වතාගේ සොහොන් බිමට මල් කළඹක් තැබීමට යන ඇන්ට අමුත්තකු පැමිණ එම සොහොනටම මල් කළඹක් තබා යන අයුරු දක්නට ලැබේ. ඒ ප‍්‍රාන්ට්ස්ගේ (ඈන්ගේ මියගිය පෙම්වතා) හිත මිතුරකු ලෙස පෙනී සිටින ප‍්‍රංශ ජාතික සොල්දාදුවකු වූ ඇන්ඩි‍්‍රියාන් ය. ඔහු ප‍්‍රාන්ටාස්ගේ දෙමාපියන් ද හමුව තමා ප‍්‍රාන්ටාස්ගේ මිතුරකු ලෙස පෙනී සිටී. එහෙත් පසුව ඈන් හා ඇත්ත හෙළි කරන ඇන්ඩි‍්‍රියාන් තමා අතින් ප‍්‍රාන්ට්ස් මියගිය බව පවසයි. ඒ මරණය නිරපරාද මරණයක් බව තේරුම් ගන්නා ඇන්ඩි‍්‍රියාන්  ඒ සමගම ඈන්ට ප‍්‍රාන්ට්ස් විසින් ලියා තැබූ ලිපියක් ද හමුවේ. එයින් වඩාත් කම්පනයට පත්වන ඇන්ඩ‍්‍රියාන් සියල්ලන්ගෙන් සමාව ගැනීමේ අටියෙනි  මෙහි පැමිණ ඇත්තේ.
සිය පුත‍්‍රයාගේ වියෝවෙන් දුක්වන ප‍්‍රාන්ට්ස්ගේ දෙමාපියන් මිතුරු වෙසින් පෙනී සිටින ඇන්ඩි‍්‍රියාන්ගෙන්  සැනසෙන බව දකින ඈන් ඒ සතුට විනාශ කිරීමට අකමැතිවේ. එහෙත් තම පෙම්වතා මරා දැමුවේ ඇන්ඩි‍්‍රියාන් යයි  නොකියා සිටීමට ද අමාරු ය. එහෙයින් ඒ රහස තමා සමගම වලලා දැමිය යුතු යයි සිතා ඇය සියදිවි නසා ගැනීමට ද තැත් කරයි. එහෙත් කිසිවකු ඇය බේරා ගනී. අනතුරුව ප‍්‍රාන්ට්ස්ගේ දෙමාපියන්ගේ සංතෝෂය වෙනුවෙන් ඇය ඇන්ඩි‍්‍රියානා  සමග විවාහ වීමට ද එකඟ වේ.
 Frantz ආත්ම පරිත්‍යාගයන්ගේ වටිනාකම් පිළිබඳව හොඳම උදාහරණ ගණනාවක් කැටි කරන කලා කෘතියකි. පසුතැවීම ජීවිතයේ වෛරය තුරන් කරයි. මනුෂ්‍යයන් අතර නිරර්ථක වර්ගවාදය  අභිබවා කරුණා ආලෝකයේ අගය අපේ ආත්මයන් තුළට ම ඇතුළු කරයි. ඒක රේඛීය නොවන එහෙත් තර්කානුකූල පෙල ගැසීම් සහිත මනුෂ්‍ය ජීවිතය එකිනෙකාට දයාව දැක්වීම හරහා කෙතරම් අර්ථවත් කළ හැකිද?
 Frantz  යහපත් මිනිසුන් තුළ සැඟවී පවත්නා අනේකවිධ මනු ගුණ ඉස්මත්තට ගෙන පෙන්වන අපූරු චිත‍්‍රපටයකි. ප‍්‍රධාන කතාව ගලා යන්නේ කළුසුදු වෙනි. එක්දහස් අටසිය ගණන්වල ජන ජීවිතය වඩාත් සජීවී කිරීම සඳහා විය හැකිය ඒ. වර්ණ රූප රාමු අවධාරණයන් හා විශේෂතා දැක්වීමටය. ඒ යුගයේ රිද්මය අපූරුවට අපට පෙන්වා දෙයි.
 නූතන කලාවේ අග‍්‍ර ඵලයක් වූ සිනමාව මනුෂ්‍යත්වය හා යහපත වෙනුවෙන් පෙනී සිටින අයුරු කෙතරම්  විචිත‍්‍රද?
මිනිත්තු113ක  ධාවන කාලයකින් යුත් Frantz 2016  ලක්ශම්බර්ග් හිදී පළමු ප‍්‍රදර්ශනය අරඹා ඇත. Pierre Niney    (ඇන්ඩ‍්‍රියාන්)  Paula Beer (ඈන්)  ප‍්‍රධාන චරිත නිරූපණය කරයි.

Wednesday 12 September 2018

බියපත්ය ඒ දෑස් ......ඔබ නිසා









කළඹන්නට හැකි නම්
සම්මත හංසවිල
කළඹනු ඇත
හංසයන්ටත් නොදෙවෙනිව


පිපෙන්නට හැකි නම්
ඔවුන් තැනූ පාත්තිවල
නොපිපී නොසිටිනු ඇත
ඒ මල් කැකුළු


අඩක් අඳ ඔබ දෙනෙත්
සුවපත් වූ දිනෙක පෙනේවි
ඔවුන්ද ලෝකය ලස්සන කර ඇති බව
වෙනත් විදිහකට
වෙනත් ලතාවකට


වර්ණවත්ය ඔවුන්ගේ සිහින
බියපත්ය ඒ දෑස් ......ඔබ නිසා


චිරාත් කාලයක් පුරා
ආ ශිෂ්ටාචාර ගමනේ
මග හැලුනි ඔවුන්ගේ චේෂ්ඨා


හැලූ කඳුළු බලයක්ව -හැලූ සුසුම් සුළඟක්ව
නිරුද්ධවූ ප්‍රාණ පොදවල් බලයක්ව
පුපුරයි තැනින් තැන
දිල්ලියේ මෙන්

Wednesday 5 September 2018

හයවෙනි දශකය ඉක්මවන්නට තවත් අවුරුද්දක් ඉතිරිව ඇත



හයවෙනි දශකය ඉක්මවන්නට තවත් අවුරුද්දක් ඉතිරිව ඇත. පුරා විද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ නිසාම ඒ ඉක්ම ගිය දැවැන්ත කාලයේ ආදරය- කරුණාව- ප්‍රේමය -වෛරය -ඊර්ෂ්‍යාව ගලා ආ තැන් ගවේෂනාත්මකව විමසීමට මට හැකියාව ලැබිණ. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇති බව මම සම්ප්‍රදායිකව උගත්තේ මගේ උත්පත්ති උරුමයවූ බුදු දහමෙනි. එහෙත් එය ගැඹුරින් උගත්තේ පුරාවිද්‍යාව තුලිනි. මගේ ජීවිතය මේ දීර්ඝ කාලය පැමිණියේ කවර තරමේ නාට්‍යාකාර ගමනක්ද? අත් දැකීම් අැසුරින් ලබාගත් දැනුම බොහෝය. මහනුවරින් සැතපුම් 12ක් ඈත පිටිසර ගමක සිට ටොරොන්ටෝව දක්වා ආ ගමන තුල හමුවූ දුෂ්ඨ හා ස්නේහවන්ත චරිතයෝ බොහෝය. උන්ගේ දුෂ්ටකම් හා උන්ගේ ස්නේහවන්තකම් තරාදියක ලා සංසංදනය නොකරමි. ඒ වෙනුවට මා සිතන්නේ ඒ සියල්ලම මගේ ජීවිතයේ වටිනා ගැඹුර නිර්මාණයට දායක වූ බවය. අනතා පරිමිත මේ දිගු ගමනේදී හමුවූ දේශපාලන- විද්වත් -කලාකාමී -චණ්ඩ -ප්‍රේමවන්ත චරිත බොහෝය.

Thursday 30 August 2018

දමිත පිය මිතුර!

ධර්මරාජ කන්දේ මහවැලි ගඟට මුහුණලා පිහිටි මගේ පාසල් නේවාසික ජීවිතයේ හමුවූ විචිත්‍රවත්ම චරිතයක් වූ යේ දමිත රාජපක්ෂය. ළමා වියේදී ගැඹුරින් තැන්පත් වන බොහෝ  දේ මියෙන තෙක්ම ගෙන යයි.දමිතගේ විකට කතා විකට රඟපෑම් කොතෙක් මා තුල තැන්පත් වීද යත් ප්‍රෙඩී සිල්වාට තබා විනෝද සමය කට්ටියටවත් ඒ අසලට ළඟාවීමට නොහැකි විය. දමිත පාසල් වියේදීත් වෙනස් මිනිසෙකු විය. ඔහුගේ වෘත්තීය ජීවිතයද වෙනස් එකක් විය.ගහ කොල මහ පොලොවේ පැවැත්ම ගැන ඔහු අපට වඩා සංවේදීව සිතුවේය. පසුකලෙක එයම  ඔහුගේ ජීවන වෘත්තියද විය.
මේ සියල්ල මෙසේ වී නමුත් ඔහුට කොතැනකදෝ තැනෙක ජීවිතය සංවිධානය කර ගැනීමේදී වැරැද්දක් වී තිබිණි. අපිට එහෙම වෙන්න පුලුවන් වුනත් දමිතට එහෙම වෙන්න බැරි යයි හිතා සිටි නමුත් එසේ වී තිබුණි. ඔහුගේ අභාවය අපේ පාසල පැත්තෙන් පමණක් නොව රට පැත්තෙන්ද මහා පාඩුවකි. ඔහුගේ හිස්තැන පුරවන්න එවැනි විශේෂිත මහා මිනිසුන් හිඟය.
පේස් බුක් හරහා ඔහු මගේ සෑම ජයග්‍රහණයකටම සුභ පැතුවේය.
ධර්මරාජ නේවාසිකයේ නාට්‍යයක් ලෙස ඔහු ගම කතාවක් නාට්‍යයට නැගුවේය. එහි ගමමහගේට රඟපෑවේ දමිතය. මම ගම දියනිය වීමි. පසුව එය මහනුවර දිස්ත්‍රික් තරඟාවලියක ජයග්‍රහණයක්ද ලැබීය.ඒ නාට්‍යයේ  'යකා හූ කියාගෙන එයි" කියා දෙබසක් කියන්නට මට පැවරී තිබිණි. කවර පුහුණුවක් යටතේවත් ඒ වැකිය නියමාකාරයෙන් කියා ගන්නට මට නොහැකි විය. ඇත්තටම සිදු වූයේ කියා ගන්ිනට බැරිකම නොව දමිත ඊළඟට කියන දෙබස මතක් වී මට කල් ඇතුව හිනා යාමය. හිනාව වලක්වා ගනිමින් දෙබස කියන විට විසුලු ස්වරූපයක් ගැනිණි. එවන් දුර්වලතා නිසා රඟපෑම මගෙන් දුරස් වුවත් දක්ෂකමේ අග්ගිස්සේ සිටි දමිතගේ රඟපෑම හමාර වූයේ ඇයි?
දමිත මියයන්නට දින දෙක තුනකට පෙරත් මීට හතළිස් පස් වසරකට පෙර සිදු වූ 'යකා හූ කියා ගෙන ඒම' ඔහු විසින් මතක් කළේය.
සොයුර, නිසි අවසානයක් නැති නාට්‍යයක් ලෙස ඔබ ඔබේ නාට්‍යය විවේකයටත් පෙරමනිමා කර ඇත.
එහෙම නොකර හිටියා නම් මෙතරම් සංතාපයකින් අප මිත්‍ර  සමූහයා නොපෙළනු නිසැකය.

Friday 3 August 2018

මහනුවර;අපේ හදබිම




මහනුවර;අපේ හදබිම
දළදා මාළිගය , සතරදේවාලය , ශාන්ත පාවුලු හා මීරක්කම් පල්ලි, මල්වතු විහාරය වැනි අපූරු ගෘහ නිර්මාණශීලිත්වයකින් යුත් ප්‍රෞඩ ආගමික ගොඩනැගිලි සුදුසු තැන්හි පිහිටුවා තිබුණි. කවර තරමේ විවේචන තිබුණත් මහනුවර වැව ලෝකයේ ලස්සනම වැවක් ලෙස නගරය අලංකාර කළේය. වැව රවුම යනු ලෝකයේ හොඳම වර්ගයේ වෝකිං පාත් එකකි. ඒ වටා ගමන් කරන්නෙකුට ප්‍රසන්න හැඟීම් සමුදායක් සිත් සතන් වලට එකතු කරයි. පසුකාලීනව ඉදිවූ කාර්ගිල්ස්, වෝකර්ස්, එලිපන්ට් හවුස් යන ගොඩනැගිලිත් , රජගෙදර,ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කච්චේරිය,පොදු වෙළඳ පොල පවා මහනුවර ප්‍රෞඩත්වය නොබින්දේය.
පසු කාලීනව මහනුවර අනුබද්ධ නගරය වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් , මහවැලි ගඟේ ජල ප්‍රවාහය සේ දැනුම ප්‍රවාහයක් නගරය කරා ගලා ආවේය. එදා බේක් හවුස් කොරිඩෝවේ ශාන්ත අන්තෝනි රඟහලේ රඟ දැක්වෙන වේදිකා නාට්‍යවල එල්.ටී.ඩිසයිනර්ස් නිර්මාණය කළ සිල්ස්ක්‍රීන් පෝස්ටර් පිළිවෙළට තබා තිබුණි. ඩෙවෝන් , ලියෝන්ස්, සිල්වඩේල් ආදී හෝටල්ද එසේම අඩු වැඩි වශයෙන් එදා සංස්කෘතික ප්‍රචාරයට ඉඩ හසර සලසා දුන්නේය.
බේක් හවුස්, ඩෙවෝන් ,සිල්වඩේල් , ආදි හෝටල්වල තේ එකක් තොල ගාමින්ද, ග්‍රීන් කැෆේ ,වික්ටරි ආදි අවන්හල්වල මධුවිතක් තොල ගාමින්ද දේශපාලන සංස්කෘතික සංවාද පැවැත්වුණි. පත්තිනි දේවාලය අසල දේව වීදිය පුරා සමසමාජ ව්‍යාපාරයත් .කොටුගොඩැල්ල වීදිය මුල් හරියේ කොමියුනිස්ට් පක්ෂයත්, බේක් හවුස් ,ඩෙවෝන් අසල වැටවල්වල නව සමසමාජ.විකොස, විරෝධ කණ්ඩායමුත් සිය සංවාද භූමි බවට පත් කර ගත්හ. කොළඹ කේන්ද්‍රීය සංස්කෘතික වීරයෝ ඉතා උනන්දුවෙන් නුවර පැමිණ ඒ සංවාද අප හමුවේද සිදු කෙරිණි.
එහෙත් බලයට හා ධනයට ලොල්වූ දේශපාලකයන්ට ඒ සියලු වටිනාකම් නොවැටහුණේය. ඔවුන්ට වටිනා කම් ලෙස දැනුණේ නුවර බිම් කඩවල්වල මිල වටිනාකම් ගැන පමණි. අද මහනුවර පුරවා ඇති පෙට්ටි කඩ වැනි සාප්පු ඒ බඩජාරි කමේ නිරූපනයන්ය.
සුදුසුම එක නොවූවත්  මනා ගෘහ නිර්මාණ ශිල්පයකින් යුත් උසාවි සංකීර්ණයකින් විලියම් ගොපල්ලව මාවතේ ඉදි කරන විට , ඒ පාර දිගේ ඇති අනෙකුත් ගෘහ නිර්මාණ සංස්කෘතික  නගරයකට ගැලපෙන සේ ගොඩ නැගීමට නගර නිර්මාණ විශේෂඥයන්ගේ සහය ලබා ගත යුතුව තිබිණි.
එදා අපේ සංස්කෘතික ජීවිතය සැනසූ මහවැලි ගඟ අසබඩ ශාන්ත අන්තෝනි රඟහල හා ඒ අවට පරිශ්‍රයට අද පෙට්ටි කඩ වැනි ස්ථිර ගොඩනැගිලි විසින් කර ඇති හානිය ඔබම ගොස් බලා ගන්න.
තට්ටු ගණනක මහා සාප්පු සංකීර්ණ තුන හතරක් මහනුවර ඉදිකොට ඒවාට පාරිභෝගික සමාජය හුරු කරවීමෙන් මහනුවර අනන්‍යතා ලක්ෂණ ආරක්ෂා කර ගත හැකිව තිබිණ. එය සාර්ථක උපක්‍රමයක් බවට ඇති හොඳම උදාහරණය කැන්ඩි සිටි සෙන්ටර්ය.එහෙත් දේශපාලකයෝද ඔවුන්ගේ වන්දි භට්ටයෝද තම හිස් මොළ ඒ සඳහා වෙහෙසවා නැත.
දැන් අප නුවර කියා යන්නේ තවත් අප්‍රසන්න කොළඹකටය.(පිටකොටුවකටය)

Wednesday 1 August 2018

Loving Annabelle


For one human being to love another; That is perhaps the most difficult of all our tasks... The work for which all other work is but preparation.
RAINER MARIA RILKE යන සටහන ඇත්තේ ඉහත චිත්‍රපටය නිමාවේය.
''අකීකරු හැසිරීම නිසා පාසල් දෙකකින්ම පිටමං කරන ලද  ඇමෙරිකානු සෙනෙට් සභිකයෙකුගේ දියනියක වන ඇනබෙලා (Erin Kelly) නේවාසිකව ඉගෙනීම සඳහා රෝමානු කතෝලික පාසලක් වෙත ඇගේ දෙමව්පියන් විසින් බාරදෙයි. එම පාසලේ ගුරුවරියක වන සිමොන් බ්‍රෙඩලා (Diane Gaidry) සිය පංතියේදීත් ඇනබෙලා තවදුරටත් අකීකරු වීම නිසා දෙතුන් වරක් ඇයට අවවාද කරයි. එහෙත් නොනවතින ඇගේ දඩබ්බරකම් නිසා ගුරුවරිය ඇනෙබලා ගැන පාසල් ප්‍රධානී මවිතුමියට පැමිනිලි කරයි.''
සිය ගුරුතුමිය තමා කෙරේ ලිංගික ආකර්ශනයක් ඇති බව ඇනෙබලා වටහා ගනී. එහෙත් පාසලේ ඇති දැඩි විනය හා තමා ශිෂ්‍යාවක වීම නිසා සිය ගුරුවරිය සිය හැඟීම් පාලනය කර ගන්නා බව ඇයට වැටහේ. එහෙත් ඇනෙබලා ඉස්සර වෙමින් සිය ගුරුවරිය ග්‍රහණයට ගනියි.අවසානයේ වැලකී සිටීමේ චිත්ත අරගලයෙන් ගුරුවරිය පරාජයට පත්වූදාම , දෙදෙනා අතර ආදරය ඉෂ්ට වූ දිනයේම වැඩවසම් ආගමේ හා නීතියේ ගොදුරක් වීමට සිමොන්ට සිදුවේ.
ආදරය දිනාගැනීම , එය රැක ගැනීම කවර තරම් දුෂ්කර කාර්යයක්ද යන්නත් , මිනිසා සඳහා සිය පූර්වගාමීන් නිර්මාණය කළ ආගම, නීතිය යන සියල්ලම එහි ශුද්ධත්වයට අභියෝග කරන බව මේ චිත්‍රපටය කියාපායි.
කැනේඩියානු චිත්‍රපටයක් වන Loving Annabelle 2006 වසරේ නිපදවූවකි.අධ්‍යක්ෂවරිය Katherine Brooks ය.
https://www.youtube.com/watch?v=APNSXkJv4GU



Friday 13 July 2018

බෙවිස් මනතුංග : මහනුවර මග සලකුණක්

                        රට මෙසේ විය යුතු යයි හිතූ පැතූ බොහෝ දේශපාලන කණ්ඩායම් සිය මූලස්ථානය කරගන්නේ මහනුවරය. මේ හැත්තෑව දශකයයි. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමට පෙර යුගයේ මහනුවර නගරය පූර්ව විප්ලවීය රුසියාව මෙනි. අලූතින්ම (1976) බිහිවූ නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු ඇතුළු මධ්‍යම කාරක සභිකයෝද එහි බොහෝ හිතවතුන්ද තම දේශපාලන සාකච්ඡුා ඩෙවෝන් හෝටලය තුළත් අතුරු කථා බේක් හවුස් වැටේදීත් සිදු කෙරෙනු අපි බලා සිටියෙමු.


             විප්ලවය කොමියුනිස්ට්වාදී සංගමයේ වීරසේකර සහෝදරයා අප පාසල් ඇරී එන තෙක් ඞී.ඇස්. සේනානායක පුස්තකාලය අසල පඩි පෙළේ රැුක සිටියේ මගේ පාසල් සගයෙකු වූ අලූත්වත්තටත් මටත් ‘කම්කරු මාවත’ පත්තරය විකුණන්නටය. තවමත් අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව සිය දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් වීරසේකර සහෝදරයා ඒ පැරණි බලකොටුව තුළම දේශපාලනිකව හැසිරෙන්නේය.


           මම දේශපාලනිකව සැබැවින්ම සම්බන්ධ වූ ලංකා සමසමාජයේ නුවර නියමුවන් සිටියේ මහනුවර දේව වීදියේය. විජය වික‍්‍රමරත්න, ලාල් විජේනායක, ජයම්පති වික‍්‍රමරත්න ඔවුහුය. අපි සියල්ලට පළමුව වික්කාගේ (විජය වික‍්‍රමරත්නගේ* කන්තෝරුවට ගොස් ශිෂ්‍යයන්ව සිටියදීත් වන අපේ වමේ නැඹුරුව ගැන ඔහුගේ මුව නොසෑහෙන අගය කිරීම අසා අනතුරුව ලාල් විජේනායක සහෝදරයාගේ කන්තෝරුවට යමු. ඔහුගේ දයා කරුණාව මුසු අදටත් මා තවමත් දැක නැති මනුෂ්‍යත්වයෙන් පිරි ඔහුගේ අව්‍යාජ සිනාව අපි පිළි ගනියි. අප  සියල්ල සමග සිටි මිෂන් හෝටලයට යන ඔහු තේ එකක් බිබී අප කැමති දේ කන්නට බොන්නට සලස්වයි.


           මේ සියල්ල අතර රාජා උස්වැටකෙයියාව, සරත් පේ‍්‍රමලාල්, රංජිත් විජේසිංහ ගුඞ්ෂෙඞ් එක ළඟ කොමියුනිස්ට් පක්ෂයේ සිය රාජධානිය ගොඩ නගාගෙන තිබුණි. වීදියේ පොදු ජනයා ආශ‍්‍රය කළේ ඔවුන්ය.
මේ වටපිටාව තුල අපට බෙහෙවින් හමුවූ, කොමියුනිස්ට් පක්ෂ සගයන් සමග නිතර ගැවසුනු කෙනෙකි බෙවිස් මනතුංග.  ආබාධිත බව පරදවන මහපෞරුෂයක්ද දැනුමක්ද සංගීත හැකියාවක්ද නිර්භීත බවක්ද ඔහුට තිබිණ. මහදුරු රංජිත් ගුනවර්ධනගේ පරිවර්තන ඇසුරෙන් වික්ටර් හාරාගේ ගී පද කියවා තිබූ අපට හාරාගේ ගී බෙවිස්ගේ හඬින් ගැයෙනු අප අසා සිටියෙමු.


           මීට වසර හතළිහකට පෙර අප දුටු බෙවිස්ව රූප කාය නොවෙනස්ව අදත් මහනුවර එළිය කරයි. ගියවර ලංකාවට ගිය වෙලාවේ දළදා වීදියේ බේක් හවුස් හෝටලය අසල ධර්මසේන පතිරාජ සහ ඔහුගේ බිරිඳ බෙවිස් හා කථා බහ කරමින් සිටිනු දුටුවෙමි. මා ද ඔවුන් හා එක්විය. අපගේ අතීත රස්තියාදුකාර සමාජයට සෙවණ දුන් බේක් හවුස් ඉදිරිපිට වූ විශාල වෘක්ෂය කපා දැමීම පිළිබඳ ඔහු අප සමග කනස්සල්ලෙන් කතා කළේය.


           කොටුගොඩැල්ල වීදියේ ආරම්භයේ දෙබොක්කාවක පිහිටි අමුතු ගොඩනැගිල්ලක සමාජ අධ්‍යයන කවය කාර්යාලය විය. එහි නායකයා වූයේ නැසීගිය ජයරත්න මලියගොඩය. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ආචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, දයාන් ජයතිලක එයට යන එන බව මහනුවර සැරිසරන අපට මතකය. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයවත් නොකරන ලෙස බය නැතිව විශාල ප‍්‍රමාණයේ ස්ටාලින්ගේ පිංතූරයක් එහි එල්ලා තිබුණේ ගරු සරු ඇතිවය. ට්‍රොට්ස්කිවාදීන් වූ අපට මේ දැක්මම අරුචි විය.


           බෙවිස් වැනි සංස්කෘතික වාහකයන් රටේ බොහෝ විය.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සංවාදය ශක්තිමත් කිරීමට ඔවුන් අතින් නොදැනුවත්වම මහා මෙහෙවරක් ඉටු විය.


            මට බෙවිස් ගැන මතක් වූයේ සිත එෆ්.එම්. මතක පදවලට ආරාධිතයා ලෙස සහභාගි කරගෙන කළ වැඩ සටහන ශ‍්‍රවණය කළ විටය. ඔහුගේ නිර්මාණ හා ඔහුගේ අදහස් ජනගත කිරීමට මේ වැඩ සටහන  බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වූයේය.


https://www.youtube.com/watch?v=nC7o1peZUYw&t=242s

Tuesday 26 June 2018

The Innocents: දෙව්යන් වෙනුවෙන්ද දේශපාලන බලය වෙනුවෙන්ද අහිංසකයන් බිලිවීම...........








Dear Matilda,


The dark clouds have moved on.


The sunshine brightly in our sky.


And you are in our hearts.


Perhaps other wars will come.


 other dangers threaten us.


It will soon be harder to write to each other.


But whatever faith awaits us,


 I feel ready to face it. 


I know , even if it makes you laugh, that god sent you.


May he accompany you in your trials and may you always be joyful.


yours,


Maria
           මෙම චිත‍්‍රපටය මහජන ප‍්‍රදර්ශනයට නිකුත් කරන ලද්දේ 2016 පෙබරවාරි මාසයේය. නිසංසලව ගලායන එහෙත් අභ්‍යන්තර ගැඹුරු රැළි සහිත (Undercurrents) මුහුදක් මෙනැයි මේ චිත‍්‍රපටය ගැන මට සිතේ.
         සමාජවාදී රාජ්‍ය පද්ධතිය ආගම හා ඒ ආශි‍්‍රත කි‍්‍රයාකාරකම් ප‍්‍රතික්ෂේප කරයි. එය එසේ වන්නේ මූලික මාක්ස්වාදී පඨිතයන්  තුළ ආගම විප්ලවයට බාධකයක් ලෙස සලකන නිසා විය හැකිය. ලෝකයේ දුරාතීතයේ සිට ගලා යන මිනිස් කි‍්‍රයාවලිය තුල ආගම වඩ වඩාත් සංවිධානය වී එය මිහිතලයේ සකල වීධ මිනිස් ආත්ම වෙලා ගත් ප‍්‍රපංචයක් බවට පත් විය. එකී බන්ධනය දවසින් දෙකෙන් අවුරුද්දෙන් ලිහා දැමිය හැක්කක් නොවේ. එහෙත් චීනය ටිබෙට් වරුන් අරබයාත්, සෝවියට් දේශය සිය සමූහාණ්ඩුවේ පෝලන්තය වැනි අනෙකුත් රටවල් අරබයාත් තුවක්කු බලයෙන් සිදු කළේ ඒ මානව සංවිධානය බිඳ දැමීමට තැත් කිරීමයි.
       Anne Fontaine  අධ්‍යක්ෂණය කරන ලද  The Innocent  චිත‍්‍රපටයෙන් කියවෙන්නේ දෙවන ලෝක යුද්ධය නිමා වෙමින් පවතිද්දී පෝලන්තයේ ලැගුම්ගත් ප‍්‍රංශ රතු කුරුස හමුදාවක වෛද්‍යවරියක හා සෝවියට් හමුදා අතින්  නිරන්තරව දූෂණයට ලක්වෙමින් අනීවාරත  දරුපල ලැබූ කන්‍යා සොයුරියන් අතර වූ මානව බැඳීමයි. සංවිධානගත ආගම මෙන්ම දේශපාලන බලය විසින් තහවුරු කරන ලද ක‍්‍රමවේදයන්, මිනිසත්කමට කෙතරම් දුරද, සාර මිනිස් පරමාදර්ශයන් කෙතෙක් උල්ලංඝනය කරන්නේද, යන පණිවිඩය මේ චිත‍්‍රපටය විසින් අප වෙත ලබා දෙයි.
      රතු කුරුස වෛද්‍යවරියක ලෙස රගන Lou de Laage   ගේ රගපෑම චිත‍්‍රපටය තුළ අතිමහත් සාර්ථකත්වයක් අත්පත් කර ගනී. අනුන්ගේ දුක් උසුලන පුළුල් හදවතක් සහිත තරුණ වෘත්තීය වේදිනියක් ලෙස ඇගේ රගපෑම කෙතරම් විශිෂ්ටද?
     සිනමාව සාමූහික මාධ්‍යයක් වුවත් ඒ සියළු සම්පත් දායකයන්ගේ දක්ෂතා එක මිටකට කැටි කොට ගත් අධ්‍යක්ෂවරයෙකු ලියූ සිනමා කවියක් ලෙස The Innocent  හැඳින්විය හැකිය.
චන්ද‍්‍රරත්න බණ්ඩාර




Saturday 9 June 2018

මෙහෙවර නිමා කළ සෝමවීර සේනානායකගේ යශෝරාවය







  
       සෝමවීර සේනානායක අප හැර යාමේ පුවත මවෙත බොහෝ සංවේගය දැනවීය. මගේ ජීවිතයේ ලැබූ ලොකුම ජයග‍්‍රහණයක් වූ ඞී.ආර්. විජේවර්ධන අනුස්මරණ ප‍්‍රදානය වන සපු මල නවකතාව වෙනුවෙන් ලැබූ අවස්ථාවේ ජුරියේ සභාපති වූයේ සේනානායකයන් ය. එතැන් සිට ඔහු සමග මම ගෞරවාන්විත මිත‍්‍ර ගනුදෙනුවක යෙදුනෙමි.
    සිංහල භාෂාව, එහි පදරුත්, එහි ඇති මටසිළුටු බව, ඒ ඇසුරින් කළ නිර්මාණ ආදිය ඇසුරින් ගොඩනැගුණු යහපත් ‘සිංහලයා’ යනු මෙවැන්නැකු යයි සදා නිම කළ ප‍්‍රතිරූපයක් මා වෙත ඇත. ඒ ප‍්‍රතිරූපයට ගැලපෙන මිනිසුන් කෙරේ යම් ළබැඳියාවක් ඉබේම හට ගනී. සෝමවීර සේනානායක ඒ ප‍්‍රතිරූපයට කදිමට ගැලපුන මිනිසෙකි.
   ඔහු යහපත වෙනුවෙන් පෙනී සිටියේ ය. යහපත ප‍්‍රවර්ධනය සඳහා තම ශක්ති ප‍්‍රමාණයෙන් වෙහෙස වූවේ ය. සිංහල භාෂාව සාහිත්‍ය සතු මෙවලම් උපයෝගී කරගෙන සිය දිවිය පුරා සේනානායක වෙහෙස වූයේ ඒ සත් කාර්යය උදෙසා ය. ඒ වෙහෙසේ මහ`ගු ඵල හා අස්වනු මහජනතාවට ලැබුණි.
   සේනානායක පොදු සමාජයේ මේ වෙමින් පවතින වින්නැහිය දුටුවේ තමා අයත් සමාජය යහපතට නැඹුරු සංස්කෘතික විඥානයෙන් බැහැර වීම නිසා සිදු වූවක් ලෙසිනි. එම අවබෝධයට අනුව යමින් ඔහු සිය නිර්මාණ වලින් උත්සාහ කළේ තමාගේ රසික ජනයා ඒ සංස්කෘතික විඥානය වෙත නැවත සමීප කරවීමටය. පළි`ගු මැණිකේ ටෙලි නළුවෙන් ආරම්භ කළ ඒ සත් ව්‍යායාමය ඔහුගේ දැවැන්ත නිර්මාණ වපසරිය පුරා විහිද ගියේය.
  සේනානායකයන් ලිව්වේ ද, කතා බහ කළේ ද සිංහල වචනවල මහා බලය ගැන විශ්වාෂයෙනි. මා විශ්වාස කරන පරිදි සුගතපාල ද සිල්වාට  පමණක් දෙවෙනි වූ පසුව  හොඳම දෙබස් රචකයා සෝමවීර සේනානායකයන්ය.
  සේනානායකයනි ඔබට සුබ ගමන්.
                                                                   චන්ද්‍රරත්න බණ්ඩාර

Friday 8 June 2018

රාජකීය විවාහය හා සමාජ විපරිණාමය


බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් අප රට මුළුමනින්ම සිය අණසකට ගත්තේ 1815 මාර්තු දෙවනදා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමගය. අපට වූ සන්තෑසියම ආසියාව අපි‍්‍රකාව ආදී මහද්වීපවල බොහෝ රටවලට හා  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය වැනි රටවලටත් සිදු විය. බි‍්‍රතාන්‍යයන් විසින් වැඩුන සංස්කෘතීන් බිමට පාගා දැමීමක් මේ බොහෝ රටවලදී, විශේෂයෙන්  අපි‍්‍රකාවේදී සිදුවිය. රටවල් බි‍්‍රතාන්‍යයන්ගේ අභිමතය පරිදි එතෙක් ඒ රටවල තිබුණු ස්වභාවික යථානුරූපී බෙදීම් නොසලකා නැවත බෙදීම හේතුවෙන් අදටත් පවත්නා අඛණ්ඩ සිවිල් හා රටවල් රටවල් අතර අරගල නිර්මාණය විය. තමන්ගේම දේශපාලනික යථාර්ථයන්ට අනුකූලව නිමවී තිබුණු සාම්ප‍්‍රදායික ආගම් වෙනුවට කි‍්‍රස්තියානිය ඔවුන් මත බලෙන් එබ්බවූහ. මේ සියවස් දෙකකට පෙරාතුව බි‍්‍රතාන්‍ය ලෝකයා හමුවේ හැසිරීමේ ස්වරූපයයි.
එහෙත් ලෝක යුද්ධ දෙක අතර කාල පරාසයේ යුරෝපයේ සිදුවූ වෙනස්කම්ද 1917 දී ඇති වූ රුසියානු විප්ලවයද ආදී හේතු කොටගෙන යුරෝපීය ජාතීන් විශේෂයෙන් බි‍්‍රතාන්‍යයන්ට තමන් අනුගමනය කළ කි‍්‍රයාකලාපයන් පිළිබඳ නැවත හිතා බලන්නට සිදු විය. විශේෂයෙන් හිට්ලර් සපැමිණීමත් සමග වූ ඉතිහාසගත මානව ඛේදවාචකය තුළ පව් පටිසන් දෙන්නාක් මෙන් බි‍්‍රතාන්‍යයන්ට තමන්ගේ ජීවිත ඇල්ම තුළින්ම ලෝකය දෙස බලන්නට සිදු විය. යුරෝපයෙන් බැහැර රටවලට ආධිපත්‍යය හිමිකර ගෙන තිබූ  යුරෝපාකරයම පාහේ හිට්ලර්ගේ බිහිසුණු කි‍්‍රයා නිසා විපතටත් අස්ථාවරත්වයටත් පත්විය.
නිල සංඛ්‍යා ලේඛන අනුව මිලියන 1.8ක මිනිසුන්  පළවන ලෝක යුද්ධය නිසාත් මිලියන 80 ක ජනගහණයක් දෙවන ලෝක යුද්ධය නිසා ඝාතනය විය.්  මේ සා විනාෂයත් සමග ‘තමන්ගේ ජීවිත තුළින් අනෙකාගේ ජීවිත  දෙස සානුකම්පිතව’ බැලීමේ පරමාදර්ශයන් යුරෝපයේ බිහි විය. මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියා වැඩ සටහන් , ජනවාර්ගික සමානතා වැනි සංකල්ප යුරෝපයේ උපන්නේ එකී ප‍්‍රායෝගීක සිදුවීම් හේතුවෙනි.
ලෝක යුද්ධ දෙකකට පෙරාතුව බි‍්‍රතාන්‍යයෝ අපට හුරු කළේ අසමානතාවය සහිත ජීවන පිළිවෙත්ය. සැබැවින්ම එය අප රටේ තිබූ පුරාතන වැඩවසම් ක‍්‍රමයට සාකල්‍යයෙන්ම සමාන විය. එක්කෝ ඊටත් වැඩිය.
එහෙත් අද වන විට සියලූ තත්වයන් වෙනස් වී හෝ වෙනස්ව යමින් පවතී. එංගලන්ත ක‍්‍රමයේ සාරාර්ථයන් ගැබ්වූ ලන්ඩන් නුවරට මීට වසරකට පෙර මුස්ලිම් නගරාධිපතිවරයෙකු තේරී පත් විය. අද කළු සුදු බව හෝ වෙනත් වාර්ගික බෙදීම් වෙනුවට හැකියාව, අවංකකම, සේවයට ලැදි බව නායකත්ව ගුණාංග ආදී කාරණා බි‍්‍රතාන්‍යයේ තනතුරුවලට වැදගත් වෙමින් පවතී. 1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේදී බි‍්‍රතාන්‍ය ජාතික දිසාපතිවරයෙකු වූ පී‍්‍රමන් නැමැත්තෙකු මහජන ඡුන්දයෙන් තේරී මන්ත‍්‍රණ සභාවට ගියේය. අද රනිල් ජයවර්ධන නම් සිංහලයෙකු බි‍්‍රතාන්‍යයේ පෙඩරල් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස සුදු ජාතිකයන්ගේ ඡුන්දයෙන් තේරී පත්ව සිටී.
මේ සියලූ සිදුවීම්වලට ඉහළින් බි‍්‍රතාන්‍යයේ අද තත්ත්වය තේරුම් ගැනීමට ඇති හොඳම නිදර්ශකය වන්නේ එළිසබත් මහරැුජිනගේ දෙවන මුනුබුරා වන හැරී කුමරු අපි‍්‍රකාවේ සිට ඇමරිකාවට සංක‍්‍රමණය වූ වහල් පරම්පරාවක මාතෘ උරුමයක්ද, වැඩි ප‍්‍රභූත්වයක් නැති ඇමරිකානු මෙක්සිකානු සම්භවයක් සහිත පීතෘ උරුමයක්ද සහිත මීගන් මේකල් සමග රාජකීය විවාහයකින් බැඳීමයි. ඒ විවාහය පිළිබඳ රාජකීයයෝ අසතුටෙන් පසුවනවා විය හැකියි. එහෙත් බි‍්‍රතාන්‍යයේ පුද්ගල නිදහස පිළිබඳව වන මතවාදයන්ගේ ආශිර්වාදය අභිබවා යාමට ඒ රාජකීය අසතුටට නොහැකි විය.
මීගන් මේකල් හැරී කුමරුට වඩා තුන් අවුරුද්දකින් වැඩි මහල්ය. අනෙක් අතට ඈ කලින් දික්කසාදයකට  හිමිකම් කිවූ වැන්දඹුවකි. ඇගේ සම්භවය යට කී ආකාරය. පැරණි මිනුම් දඬු අනුව නම් බකිංහැම් මාළිගයේ පස් පෑගිය නොහැකි තරම් එකියකි. එහෙත් මේකල් ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියයි. එමෙන්ම බුද්ධිමත්ය. අපමණ සමාජශීලීය. ධනයද, බලයද, උරුමයද සහිත හැරී කුමරුට මේ මානව ලෝකයේ ලබාගත නොහැකි දෙයක් නැති තරම්ය. යට කී කිසිදු දෙයක් ඔහුට අලූත් දේවල් නොවේ. එහෙත් මීගන් මේකල් හැරී කුමරු උදෙසා අලූත් දෙයක් ලබා දීමට සමත් විය. ඒ ආදරය හා නැවුම් පේ‍්‍රමයක උණුසුමයි. ඒ හරහා වූ මානව බන්ධනයට සමස්ථ රජ පවුලටත්, බි‍්‍රතාන්‍ය සමාජයටත් අවනත වීමට සිදු විය. ඒ අවනතවීම සියවසක් පුරා යුරෝපයේ මානව සමාජයේ වූ විපරිනාමයේ උච්චතම අවස්ථාවයි. මේ සිදුවීම් සන්ථතිය සලකා බලන විට හෙට දවසේ මේ රජ පවුල තුලත් යුරෝපා සමාජයේත් කුමකින් කුමක් සිදු නොවනු ඇද්ද?
ගොවිගම කුලයට අයත් නොවූ රෙජිනෝල්ඞ් කුරේ මහතා ජනාධිපතිවරයා විසින් මධ්‍ය පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කළ පසු එය පිළිගැනීමට සියම් නිකායික මහානාහිමිවරු අකමැති වූයෙන් ජනාධිපතිවරයාගේ පත්කිරීම අවලංගු කොට කුරේ යළිත් යාපනයට යැවීමට සිදු විය. මිට පෙරාතුව ගාමිණී රාජපක්ෂ නැමති ගොවිගම කුලයේ නොවන නීතිඥයා මධ්‍යම පළාත් මහ ඇමති ධුරයට පත් කළ විට යට කී උභය විහාරයෙන් පැමිණි විරෝධතා සැලකිල්ලට ගෙන එකී පත් කිරිම අවලංගු කිරීමට එදා රජයට සිදු විය. ඒ වෙනුවට මහඇමතිවරයා ලෙස පත් වූයේ ඩබ්.එච්.පී.බී. දිසානායක මහතාය.
මේ ජාති වශයෙන් වන මහා බෙදීමට අමතරව කුල ආගම් වශයෙන් වන බෙදීම්වලට කෙටි උදාහරණය. කලාව, කී‍්‍රඩාව, සමාජ විද්‍යාව, දේශපාලන හා විද්‍යාත්මක සොයා ගැනීම් විසින් යළි යළිත් මානවයා දක්ෂතා  හා ගුණ යහපත්කම් විසින් නිර්නය කරන ලෝක සමාජයක අප ජාතිය කුල මල හරහා තවත් ගැඹුරට බෙදී යමින් සිටිමු. ඒ උදෙසා ලේ වගුරුවන්ට සූදානමින් සිටිමු. සංවර්ධනයේ සියලූ ජයග‍්‍රහණයන්, දරුවන්ගේ අනාගතය මේ නිරර්ථක බෙදීම් උදෙසා බිලිදෙන්නට සූදානම් ආත්ම ඝාතකයන් වීමට කැමැත්තෙමු.
හැරී කුමරු රාජකීය පවුලේ සිටින කඩවසම්ම කී‍්‍රඩාශීලීම චමත්කාර ජනකම මිනිසාය. පේ‍්‍රමය හා ආදරය උදෙසා ඔහු තැබූ නිර්භීත පියවර ලෝක ඉතිහාසයේ ප‍්‍රගතිශීලී පිම්මකි. බි‍්‍රතාන්‍ය රජ පවුලේ  ඕනෑ තරම් හිතුවක්කාරයන් සිටියෝය.  දෙවන විවාහය උදෙසා තමන් ගත් තීරණයක් වෙනුවෙන් කතෝලික දහම අතහැරි අටවැනි හෙන්රි රජු එවැන්නෙකි. එහෙත් ඒවා ඉතිහාසගත අහම්බයන්ය. එහෙත් හැරී කුමරුගේ විවාහය සිදුවන්නේ එවැනි දේ අවශ්‍ය කරන ලෝක වටපිටාවකය. එවැනි දේ සිදුවන වටපිටාවකය.


Wednesday 6 June 2018

මැතිවරණ පෝස්ටර්





හෙට (ජූනි 7) කැනඩාවේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වේ. ඒ ගැන උනන්දු වන්නෙකුට හැර මැතිවරණයක් තියෙන බවක්වත් හඳුනා ගත නොහැකි තරමට සියල්ල සාමකාමීව හා ජන ජීවිත අවුල් නොකර සිදුවේ. පක්ෂ නායකයෝ එකවිට පැමිණ වාද විවාද කර ගනිති. ඒවා නරඹන ඡන්ද දායකයෝ එම අත්දැකීම්ද ඒ කියවෙන අදහස්ද උපයෝගී කරගෙන ඡන්දය පාවිච්චි කරති. අප ජීවත්වන ඔන්ටාරියෝ ප්‍රාන්තය ලංකාව මෙන් 24 ගුණයක්ද මහා බ්‍රිතාන්‍ය මෙන් 4 ගුණයක්ද විශාල වූවකි. ජනගහණය මිලියන 13.6කි. මේ දැක්වෙන්නේ ප්‍රසිද්ධ මංසන්ධියක එක ආසනයක ප්‍රධාන පක්ෂවල අපේකෂකයන් එක තැන සිය ප්‍රචාරක පුවරු සවි කොට තිබූ අයුරුය. හෙට ඡන්දයෙන් පසුව සියලු අපේක්ෂකයෝ ඒ පුවරු ගලවාගෙන ගොස් සුරක්ෂිතව තබා ගන්නේ බැරිවෙලාවත් ලබන සැරෙත් ඉල්ලන්නට සිදු වුවහොත් කියාය. එසේ නැතත් ඔවුන් ඒවා ගලවාගෙන යායුතුමය. නැත්නම් දිනපතා දඩයකට යටත් වීමට සිදුවේ.

Friday 11 May 2018

මායා මාවත





          මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු පෙළ මුද්‍රණයේ පිදුම වශයෙන්  සිය දියණිය තම පෙම්වතා සමග වහංව ගිය පසු ලියූ දෙ-කව සිංහල කාව්‍ය ක්ෂේත‍්‍රයේ උසස් තැනක ලා සැලකේ.


        ඒ රිද්මය හා ඒ ශෝක රසයම ගැබ්වුණු කවි කිහිපයක් පිදුමක් වශයෙන් නැවත දුටුවේ සුනිල් සරත් පෙරේරා ලියූ මායා මාවත නම් වූ සිය ස්මරණ කෘතියේය.


බිරිඳ වෙසින්
මා වෙත ආ දේවතාවියේ
අනියත නියත බව පෙන්නා
ඔබ මැකී ගියේ


ගිරි කුළ හැපී දෙකඩව යයි        සඳම`ඩල
නිසලව සුසුම්ලයි කළුවර          තුරු වදුල
දෙකොපුල තෙමා රූරා එයි      ඇස කඳුළ
නිවසේ කැදැල්ලේ නො ඇසේ පිය තෙපළ


බත් දුන් කුරුලූ ලේනුන් විත්    වැට දිගට
දුක් ගන්නා බිසව් සොයනේ      ගේ අවට
ඔබතින් වැවූ කඩුපුල් මල්      පිපෙන විට
සිහිලල සුළ`ග දැවටී යයි           සුවඳ වට


අවදිව ඇසැර ලොව දකිනා              වෙලාවේ
උදයෙම මවෙත තේ උගුරක්           ගෙනාවේ
ඔබ ගැන නිබඳ සිහිවන               කල්පනාවේ
මොහොතින් මොහොත ළතැවෙමි හුදකලාවේ




      සුනිලූන්ගේ පියඹ වූ සරෝජිනී ඉලංගංගතිලක (පසුව පෙරේරා) මැතිණියට මේ කවි පෙළින් වහනය වන සියලූ ගුණ සුවඳ පිහිටා තිබිණ. මාතු භාර්යාවක ලෙස හැඳින්විය හැකි ඈ දරුවන්ට හොඳම මවක්, අපට හොඳම සහෝදරියක් වූවා ය. මුදු ගුණයෙන් ද සානුකම්පිත හදවතින් ද යුතු වූ ඈ වැන්නියක අහිමිවීම වහා සසලවන හදක් ඇති සුනිලූන්ට දරා ගැනීමට අපහසුවීම අරුමයක් නොවේ.


      කොළඹින් දුර බැහැර මහනුවර ජීවත් වූ මට කොළඹ හැටි කියා දුන් හා කොළඹ ජීවිතයට රැුකවරණය දුන් පවුලක් වේ නම් ඒ සුනිලූන්ගේ පවුලයි. මගේ එකල  ලිපිනය වූයේද ඒ නිවසමය. ඒ 133 මායා මාවත ම ය.


     සවස් යාමයේ නොවරදවා මා හා ඇතැම් විට පියසේන ගුණතිලකයන් සමග  ඒ නිවසට ගොඩ වන මට සුනිලූන් හමුවට එන වියතුන්  දැක ගැනීමටත් අල්ලාප සල්ලාපයේ යෙදීමටත් වාසනාව ලැබිණ. අමරදේව, මහාචාර්ය ජේ.බී හා විමල් දිසානායක, පණ්ඩිත අශෝක කරුණාරත්න, සයිමන් නවගත්තේගම (පණ්ඩුකාභය නිෂ්පාදනය අවධියේ) චන්ද්‍ර ගුණසේකර, බර්නාඞ් සොයිසා, බැටී වීරකොන් ,දයා හා අනුලා රණවීර,  ආදී වියත්හු හා ජනපි‍්‍රය පුද්ගලයෝ ඒ අතර වූවා මට මතක ය.


    මා රාවය පුවත්පත හා සම්බන්ධ කළේද සුනිලූන් විසිනි.


       සුනිලූන් කොළඹ ඉපදුනු ගමට පෙම්බැඳි වියතෙකි. ගැමි ලියක වූ සරෝජනී අක්කාට දැක්වූ අකලංක පේ‍්‍රමය ඈ ජනිත ගම් පියසට ද ඒ ඇසුරෙන් සමස්ත ලාංකීය ගමට ද ඔහු පෙම් කලා යයි සිතමි. ගැමියන් වූ අපට වඩා ගම පිළිබඳ අපූර්වත්වයකින් සුනිලූන් දකින්නේ ඔහු සිය ජීවිතය පුරවාලූ සරෝජිනී අක්කාට දක්වන පේ‍්‍රමයේ කොටසක් ලෙසිනැයි මට සිතේ.   ‘‘ඈත එපිට ගම්මානෙන් මතුවන’’, ‘‘මේ මහකන්ද දුටුවා’’ වැනි විශිස්ට ගී ඒ සඳහා උදාහරණ වෙති.


      සිය උපන් නිවස පිහිටා ඇති කොළඹ කිරුළපන මායා මාවත කේන්ද්‍ර කරගනිමින් ඔහු විහිදුවාලන අත්දැකීම් හා ස්මරණ විවරණය පරිනත කලාකරුවකුගේ පමණක් නොව විද්වතකුගේ ස්වරූපය කියා පායි. ඒ නිවසට වසර ගණනාවක් ආගිය කෙනෙකු ලෙසත්, ඔවුන්ගේ සතුට පිරීතිරී ගිය කුටුම්භය දුටු කෙනෙකු ලෙසත්, ඒ නිවසින් රැුකවරණය ලැබූ කෙනෙකු ලෙසත්, මායා මාවත කෘතියෙහි මට සාමාන්‍ය පාඨකයකුට වඩා සමීප බවක් දැනේ.


      සුනිලූන් අපූර්ව වූ කවියෙකි.  ගීත රචකයෙකි. පරිනත භාෂා පේ‍්‍රමියෙකි.  විසල් දේශපාලන සංස්කෘතික සමාජ වටපිටාවක අත්දැකීම් බහුල වූ, ඒවා සිය නිර්මාණ විෂයෙහි සංයමයෙන් පරිහරණය කළ හා කරන අයෙකි.


       සුනිලූන් විසින් තමන් අවට ලෝකය සංයමයෙන් යුතුව ඥානනය කළ අයුරු ‘මායා මාවත’ අපට කියා පායි. සරච්චන්ද්‍රයන්ගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ තිස්ස අබේසේකරයන්ගේ ‘අයාලේ ගිය සිතක සටහන්’ සිරිලාල් කොඩිකාරගේ ‘දියවැලක් ඔස්සේ’ වැනි උසස් ගනයේ ස්වකීය ජීවන අත්දැකීම් ඇතුළත් කෘති පෙළෙහි ඒ උසස් ගුණයන් එසේම රැුඳුණු කෘතියක් ලෙස ‘මායා මාවත’ සැලකිය හැකිය.


      ‘මායා මාවත’ කෘතිය මගේ වයස විසි ගණන්වල ජීවිතයේ ඇතැම් ස්පර්ෂ කලාපයන් යළි මතක් කර දෙන කෘතියකි. සුනිලූන් මට හොඳ ජීවන පූර්වාදර්ශයක් විය. ඒ දෙපළම මට හමුවූ මහා ගුණවත්  මිනිසුන් වූහ. අපගේ ස්මරණ කලාපයේ මිහිරෙන් පුරවාලූ ජීවන අත්දැකීම් මේ දෙපළ ඇසුරෙන් මට ලැබුණි. සුනිල් විසින් රචිත සිය ජීවන අත්දැකීම් සමුදාය තුළ ඔහුගේ සංයමයෙන් යුතු ජීවන විලාසය ගැබ්ව ඇතැයි සිතේ. මේ කෘතියේ ඇතැම් පරිච්ෙඡ්ද ඇසුරෙන් මතු වන සිය පියඹ සමග එක්ව ගිය ගමන් බිමන්වල සෝකී ස්මරණ, ඔහුගේ බලවත් වත්මන් ශෝකී හුදකලාව මට පසක් වේ.




චන්ද‍්‍රරත්න බණ්ඩාර

Tuesday 1 May 2018

යුගයක අවසන් බදාදා



        ආගමික බලයෙන් තොරව කිසිදු සංස්කෘතියක් බිහිවී හෝ වර්ධනය  වී හෝ නොමැති බව වරෙක ටී .එස් එලියට් පවසා ඇත. එය ඇත්තක් යයි මමද විශ්වාෂ කරමි.
          බුදු දහම ලංකාවේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය නිර්මාණයේ දි වැදගත් කාර්යභාරයක් සිදුකොට ඇත. විශේෂයෙන් විසිවෙනි සියවසට පෙරාතුව ඒ කාර්යය එසේම සිදුවිය. විශේෂයෙන් ලංකාවේ දී මිනිසා ශිෂ්ටාචාරගත කිරීමේ හා සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ දී ආගමේ කාර්යය කලාව වෙතට පවරා ගැනීම සිදු වූයේ බොහෝ ප‍්‍රමාද වීය. ආගමේ ඉගැන්වීම්වලට යටත් විනයගත රාමුවක ප‍්‍රාථමික ස්වරූපයෙන්  චිත‍්‍ර, නර්තනය, වැනි දෑ තිබුණු නමුත් සංගීතය හා අනෙකුත් වීධිමත් කලාවන් තිබුනේම නැති තරම්ය. එහෙත් මාර්ටින් වික‍්‍රමසිංහ (සාහිත්‍යය) , සරච්චන්ද්‍ර (නාට්‍ය) , ලෙස්ටර් (සිනමාව), චිත‍්‍රසේන (නර්තනය), අමරදේව (සංගීතය) යන පුරෝගාමින් විසින් විසිවන සියවසේදී ආගම පදනම් වූ කලාව ජීවිතය පදනම් වූ කලාවක් බවට පත්කීරීමේ පරිවර්තනීය කාර්යය ආරම්භ කළේය. ඔවුන් විසින් සිංහල සංස්කෘතියේ පුලූල් පරිධියක උසස් කලාව පැතිරවීය. ඊළ`ග පරම්පරාවන්ට ඒ මග යාමට මං පෙත් විවර කර දුන්නෝය.
           මේ ලියන අද බදාදා (2008-05-02) එක්තරා සම්භාව්‍ය පුරෝගාමී යුගයක අවසන් දිනය ලෙස සැලකීම උචිත යයි සිතමි. ලෙස්ටර්ගේ මරණය සටහන් කරන්නේ ඒ පුරෝගාමී පරපුරේ අවසන්  සිහරජු අහිමිවීමය.
        ආගම විසින් අත්පත් කරගෙන තිබූ සංස්කෘතික අවකාෂයට කලාව කැඳවාගෙන ආ පුරෝගාමීන් ඔවුන්ය. අද ලෙස්ටර් පරමායුෂ ගෙවා නික්ම යන්නේ ,යළිත් ඒ අපූර්ව සංස්කෘතික අවකාෂයට ආගම පැමිණිය හැකි රුදුරුම වේෂයෙන් පැමිණ හදි කරමින් සිටින අවධියකය.
       මේ පුරෝගාමී කලාකරුවන් බිහිවන්නට පෙර යුගයේ ආගම, ආගමික කලාවකට හා දැනුම පද්ධතියකට පිටුබලය විය. අහෙත් අද ආගම ආත්මාර්ථකාමී ලෙස ආගමේම අභිවෘද්ධිය පමණක් සඳහා මෙහෙයවෙමින්, ඒ සඳහා අනෙකුත් සියලූ බේදයන් අවුස්සමින් ඉතාම හිංසක මුහුණුවරක් ගනිමින් සිටී. ලෙස්ටර් නික්ම යන්නේ මෙවන් දුර්දාන්ත පරිසරයකිනි.
ලෙස්ටර්ගේ සිනමාව ගොගොල්ගේ හිමකබාය ලෙස වත්මන් කලාකරුවන් විසින් දකී. එය සැබෑවකි. එහෙත් ආගමික කලාවක් ජීවිතය උදෙසා පෙනී සිටින කලාවක් බවට පත්කිරීමේ පරිවර්තනීය  කාර්යය කළ සාර්ථක ආකාරය හැදෑරීම වත්මන් කලාකරුවන්ගේ (විශේෂයෙන් සිනමා කරුවන්ගේ) යුතුකමකි. අර්බුදය වාර්තා කිරීමෙන් හා එය විවරණය කිරීමෙන් පමණක් පොදු සංස්කෘතියේ කලාවට හිමිවිය යුතු විශාල ඉඩ යළි ලබාගත නොහැකිය. සිනමාවේදීනි යලි මුලට ගොස් ලෙස්ටර්ගේ මෙහෙවර හරි තැනින් අල්ලා ගන්න.
චන්ද්‍රරත්න බන්ඩාර

Sunday 15 April 2018

තුමිදු

තුමිදුගේ පියා මගේ මිත්‍රයෙකු විය. ජයසේන දොඩන්තැන්නයන් සිය පුත් තුමිදු ගැන එක්දහස් නවසිය අනූහය වගේ කාලයක මහත් ආඩම්බරයෙන් කතාකළ බව මට මතකය. පිය සිහින සැබෑ කළ පුතෙකු ලෙස තුමිදු හැඳින්විය හැකිය. මේ තුමිඳු මට හමු වු පළමු අවස්ථාවයි. ඒ මගේ නවකතාව 'වලාකුළු බැම්ම' ඇසුරින් තැනෙන සිනමා පටයේ මුහුරත් උළෙල දාය. (දිනය 2018 මාර්තු 14) එදා මම තාත්තා හා මගේ ඇසුර ගැන තුමිදු හා කතා බස් කෙළෙමි. ඊට දින දෙකකට පසුව මම රාජකීය අාසියාතික සමිතියේ සමුළුවකට සහභාගි වුනෙමි. මම විශ්වාෂ කරන පරිදි ලංකාවේ අදටත් පවතින විද්වත්ම සංගමය රාජකීය ආසියාතික සංගමයයි. එදා එක් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේ තුමිදුය. තුමිදු පිය සිහින සැබෑ කළ දයාබර පුතෙකු ලෙස හැඳින්වීම නිවැරදි නොවේද?


Friday 5 January 2018

භාවනාව

https://www.youtube.com/watch?v=Ix3yMWjjA0w


විදර්ශනා භාවනාව බුදු දහමේ වටිනා අංගයක් බව ඕෂෝ කියා තිබේ. ඇමෙර්කාවේ ඔහුගේ ආශ්‍රමයන් හි මේ බාවනා විධික්‍රමය පුහුණු කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබුණි. බටහිර සමාජයට විදර්ශනා භාවනාව හඳුන්වා දීමට ඕෂෝ මෙන්ම බෙෳද්ධ භික්ෂූන් වන තිචිනාත් හං වැනි මහායානික භික්ෂුන් විශාල මෙහෙයක් සිදු කොට ඇත. එළඹ සිටි සිහිය ලබා ගැනීමට මගක් ලෙස විදර්ශනාව ප්‍රගණ කරන්නයයි මා පෙළඹ වූයේ එකී විෂය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සහිත මා මිතුරැ සම්පත් දිසානායකයන්ය . ඔහු මට සංගීතය භාවනා මාර්ගයක් ලෙසද හඳුන්වා දුන්නේය. සෙන් බුදු දහමේ හා ටිබෙටියනු වජ්‍රයානික බුදු දහමේ මේ සඳහා උපකාර කරගත හැකි සංගීතාංග බොහොමයකි. යූටියුබ් හි මේවා සිය ගණනක් සංගෘහිතය. ඉස්ලාම් දහමේ සුෆී නිකාය භාවනාව හා සංගීතයට විශේෂ තැනක් දෙන්නේය. එහි භාවනානු සංගීතය බෞද්ධ මහායානික සංගීතයට සමානයයි මට සිතේ. මා නිතර භාවිතා කරන සුෆී සංගීත රචනයක් පහත දැක්වේ. නුවර පෙරහැර කාලයේ කඳු නිම්න සිසාරා මගේ උපන් ගමට ඇසෙන බෙර දවුල් හොරණෑ මිශ්‍රිත නාද මාලාවක් මේ සුෆී සංගීත රචනය තුළ ඇසෙතැයි මට සිතේ.